hit counter

2026 ඔක්‍තෝබර් මස 09 වන සිකුරාදා

2026 ඔක්‍තෝබර් 08, ප.ව. 1:55



බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව අත්තනෝමතික අයුරින් අත්අඩංගුවට ගෙන උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම තුළින් කිරි කළයට ගොම බිංදුවක් දැම්මා හා සමාන තත්වයට ආණ්ඩුව පත්ව ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ සඳහන් කළේ එය ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට දැඩි ලෙස හානිදායක ක්‍රියාවක් වන බවයි.

බෞද්ධ රාජ්‍යයක බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ චීවරය මෙවැනි අත්තනෝමතික  අයුරින් ඉවත් කරනවා නම් එම ක්‍රියාව මෙරටේ සැදැහැති බෞද්ධයින් කිසිවෙකුත් අනුමත නොකරන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියා.

උන්වහන්සේ සඳහන් කළේ මෙම තත්වය තවදුරටත් ඉදිරියට නොයවා දූරදර්ශීව කටයුතු කර මෙම අත්තනෝමතික ක්‍රියාමාර්ගය  තහනම් කිරීමට කටයුතු කරන ලෙසයි.

එලෙස කටයුතු කළහොත් ජනාධිපතිවරයා බෞද්ධ ජනතාව අතර වඩාත් ප්‍රසාදයට හා ජනප්‍රියත්වයට පත්වීම වැළැක්විය නොහැකි බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසා සිටියා.

උන්වහන්සේ ප්‍රකාශ කළේ මෙරටට කරදරයක් පැමිණි සෑම අවස්ථාවකම ලංකාව බේරා ගැනීමට ඉදිරියට පැමිණියේ මහා සංඝරත්නය බවයි.

ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළ මොහොතේදීත්, පද්මසිරි ත්‍රීමාවිතාන ශිෂ්‍යයා ඝාතනය කළ මොහොතේදීත්, ජනතා විමුක්ති පෙරමුණට මැයි දින සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්න යනාදී තවත් නොයෙකුත් ප්‍රශ්නවලදී ඒ වෙනුවෙන් කතා කළේ හා සටන් කළේ තමන් බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියා.

උන්වහන්සේ අවධාරණය කළේ  අනුර කුමාර දිසානායක මහතාට රට ගොඩනැගීමට යම් නිශ්චිත සැලසුමක් ඇත්නම් එයට මහා සංඝරත්නයේ පූර්ණ සහයෝගය හිමිවන බවයි.

මෙම ගැටලුව සාධාරණව විසඳා දෙන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව තවදුරටත්  අදහස් දක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙලෙස පැවසුවා.

“ අද ලංකාව තුළ නොසන්සුන්තාවයක් ඇතිවෙලා තිබෙනවා. ඒ නොසන්සුන්තාවය තමයි ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් වහන්සේගේ චීවරය ඉවත් කිරීම. ඇත්තෙන්ම කවුරු හෝ වේවා වරදක් කලා නම් ඒකට දඬුවම් ලැබිය යුතුයි කියන මතය අපි කවදාවත් ඉවත් කරන්නේ නෑ. නමුත් උන්වහන්සේ මේ වාගේ දඬුවමක් ලබන්න තරම් එවැනි වරදක් කරලා නෑ කියන එකයි අපේ විශ්වාසය.

ඒ වුණත් සිවුර ඉවත් කිරීමට පෙර අපේ මහනායක නාහිමියන් වහන්සේලාට මේ කරුණු දැනුවත් කරලා උන්වහන්සේලාගෙන් වචන අදහසක් අරගෙන කළා නම් මේ ප්‍රශ්නේ මෙච්චර දුර යන්නේ නැහැ. ඒ නිසා අපි ජනාධිපතිතුමනි ඔබතුමා බලයට පත්වෙනකොට විශාල පොරොන්දු රාශියක් ලබලා දීලා පත් වුණා. ඒ නිසා මේ සියලු පොරොන්දුවලට මම හිතනවා මේ හාමුදුරුවන් වහන්සේගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව අර කිරි කළයක් දොවලා ගොම බින්දුවක් දැම්මා හා සමාන තත්වයකටයි පත්වෙලා තියෙන්නේ.  ඒක ඔබතුමාට හොඳ නැහැ. ඒක ඔබතුමාට අගෞරවයක්. ඔබතුමාත් බෞද්ධයෙක්, අගමැතිතුමත් බෞද්ධයෙක්. බෞද්ධ රාජ්‍යයක බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙකුට මේ වාගේ කාගේ හෝ උපදෙස් මත මේ වගේ සිවුර ඉවත්  කරලා තියෙනව නම් ඒක මේ රටේ බෞද්ධයෝ අනුමත කරන්නේ නැහැ. අනුමත කරන අයත් ඇති.  සැදැහවත් බෞද්ධයින් කිසිවෙකුත් මෙම ක්‍රියාදාමය අනුමත කරන්නේ නැහැ. ඉතින් මේක ඔබතුමාගේ පාලන ක්‍රමයටත් මේක කිසියම් අවනම්බුවක් කියන එකයි අපේ විශ්වාසය.

එවැනි තත්වයකට නොවැටී ඒ පිළිබඳව දූරදර්ශීව සලකා බලා  මේ කරපු ක්‍රියාමාර්ගය ඉවත් කරොත් මම හිතනවා මේ රටේ බෞද්ධ ජනතාවගේ ප්‍රසාදයට ඔබතුමා පත්වෙනවා කියන එකයි අපේ විශ්වාසය. මේ රටට හැමවෙලේම විපත්තියක්, කරදරයක් ආපුවාම ඉදිරිපත් වුණේ  පන්සලයි. වෙන කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. දැන් ඔබතුමාලාගේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරපු වෙලාවේදී ඉදිරිපත් වුණේ මම අභයාරාමයයි වෙන කවුරුවත් නෙවෙයි. ඒ වගේම ත්‍රීමාවිතාන වෛද්‍ය ශිෂ්‍යයාගේ මරණය වෙලාවේ ඉදිරිපත් වුණේ මමයි. තව තවත් නොයෙක් ප්‍රශ්නවලදී ඔබතුමාලට මැයි දින ඇති වෙච්චා වූ ප්‍රශ්නයෙදීත් ඉදිරිපත් වුණේ මමයි. හැම දේකටම ඉදිරිපත් වෙලා තියෙන්නේ පන්සලයි මහා සංඝරත්නයයි. ඒ නිසා මේවා අමතක කරන්න එපා ජනාධිපතිතුමනි. අමතක නොකර මේ ඇතිවෙලා තියෙන ප්‍රශ්නයෙන් මිදෙන්නට මේ ඔබට ලැබිලා තියෙන අගෞරවය නැති කරගන්නට නම් ඉතා ඉක්මනින් අදාළ සාකච්ඡා ආදිය පවත්වලා මෙය ඉවත් කරොත් ඔබතුමාට බෞද්ධයින්ගෙන් ලැබෙන ප්‍රණාමය තවත් වැඩිවෙනවා මිසක අඩුවෙන්නේ නැහැ. ඔබතුමා යම්කිසි පරමාර්ථයක් ඇතිකරගෙන මේ රටේ බලය ගත්තා නම් අන්න ඒ ක්‍රියාදාමය ඒ ආකරයෙන්ම ඉෂ්ට කරන්න අපි හැමවෙලේම ආධාර දෙන්නත් සූදානම් වෙනවා. මේක සාධාරණ විදිහට විසඳන්න කියලා ඔබතුමාගෙන් බොහොම කරුණාවෙන්  ඉල්ලා සිටිනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: