2026 ඔක්තෝබර් 22, ප.ව. 5:21
දිවයින පුරා පිහිටි ප්රධාන වේලිවල ආරක්ෂාව තහවුරු කිරීම සහ වේලි පහළ ප්රදේශයන්හි ජීවත්වන ජනතාවගේ ආපදා අවදානම අවම කිරීම උදෙසා වන ජාතික වැඩසටහනේ විශේෂ සාකච්ඡාවක් අද දින (22) ආරක්ෂක අමාත්යාංශ පරිශ්රයේදී පැවැත්විණි.
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්රාමික) ගේ ප්රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සදහා ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්වරයාද සහභාගී වන ලදී.
මෙහිදී වේලි පහළ ප්රදේශ වල වෙසෙන ප්රජාවන් සදහා කාර්යක්ෂම පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ස්ථාපිත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ව්යුහාත්මක නොවන, අවදානම් අවම කිරීමේ පියවරයන් කඩිනමින් ඉදිරියට ගෙන යාමේ හදිසි අවශ්යතාව අවධාරණය කෙරිණි. එමෙන්ම, පූර්ව සූදානම ශක්තිමත් කිරීම, වගකිව යුතු ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සහ ජීවිත ආරක්ෂා කරමින් ආපදා බලපෑම් අවම කරගැනීම උදෙසා කාලෝචිත හා විශ්වාසනීය අනතුරු ඇඟවීම් ලබාදීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා ජාතික වේලි ආරක්ෂණ වැඩසටහන ඉදිරියට ගෙන යාමේ කාලෝචිත වැදගත්කම පෙන්වා දෙමින්, ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ද මේ පිළිබඳව සාකච්ඡා වූ බවත්, ඉන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන් විසින් මෙම වැඩසටහන ක්රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්යාංශයට උපදෙස් ලබා දුන් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
විශේෂිත “වේලි ආරක්ෂණ පනතක්” (Dam Safety Act) සකස් කිරීම ද කඩිනම් ජාතික ප්රමුඛතාවක් ලෙස මෙහිදී හඳුනා ගැනුණි. වේලි ආරක්ෂණ පාලනය ශක්තිමත් කිරීම, වගකීම් පැහැදිලි කිරීම සහ සම්බන්ධීකරණ අවදානම් කළමනාකරණය හා හදිසි ආපදා සූදානම තහවුරු කිරීම සඳහා පැහැදිලි මෙන්ම කාර්යක්ෂම නෛතික සහ ආයතනික රාමුවක් සකස් කිරීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡාවට භාජනය විය.
මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා අවශ්ය මෙහෙයුම් අවශ්යතාවන් සහ ප්රමුඛතා ක්රියාමාර්ග පිළිබඳව වේලි හිමිකරුවන් සහ මෙහෙයුම්කරුවන් විසින් ප්රායෝගික යෝජනා ඉදිරිපත් කරන ලදී. ඔවුන්ගේ මෙම දායකත්වය, සියලු අදාළ පාර්ශ්වකරුවන් අතර සබඳතාව ශක්තිමත් කරන අතරම ජාතික අවශ්යතා සහ මෙහෙයුම් යථාර්ථයන් නිරූපණය වන පරිදි වැඩසටහන ක්රියාත්මක කිරීමට උපකාරී වනු ඇත.
පූර්ව අනතුරු ඇඟවීම්, පූර්ව සූදානම, ආයතනික සම්බන්ධීකරණය සහ සුදුසු නීතිමය රාමුවක් එකතු කරගනිමින් වේලි ආරක්ෂණය වෙනුවෙන් පූර්වගාමී ජාතික ප්රවේශයක ඇති වැදගත්කම මෙම සාකච්ඡාවේදී නැවතත් තහවුරු විය. ජාතික මට්ටමේ වැදගත්කමකින් යුත් මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්යස්ථානය, ඉදිරියටත් අදාළ ආයතන සහ තාක්ෂණික නියෝජිතායතන සමඟ සමීපව කටයුතු කිරීමේ අවශ්යතාව අවධාරණය කෙරිණි.
ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ (විශ්රාමික) විසින් යෝජිත ක්රියාකාරකම් සහ මෙම වැඩසටහනේ ඉදිරි ක්රියාමාර්ග සඳහා අවශ්ය වන මූල්ය ප්රතිපාදන පිළිබඳ හැඳින්වීමක් ඉදිරිපත් කරන ලදී. ජාතික අභිවෘද්ධිය උදෙසා මෙම යෝජිත පියවරයන් ක්රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡාවට එක්වූ සියලුම පාර්ශ්වකරුවන් විසින් එකඟතාව පළ කළහ.
මෙම අවස්ථාව සඳහා වේලි හිමිකාරීත්වය දරන සහ මෙහෙයුම් සිදුකරන ආයතනවල නියෝජිතයින් මෙන්ම අදාළ පාර්ශ්වකාර ආයතනවල ජ්යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
2026 ඔක්තෝබර් 22, ප.ව. 5:19
2026 ඔක්තෝබර් 22, ප.ව. 4:50
2026 ඔක්තෝබර් 22, ප.ව. 2:54
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 7:20
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:19