hit counter

2026 ඔක්‍තෝබර් මස 24 වන සෙනසුරාදා

2026 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:28



මෙරට වනජීවීන්ට සිදුකරන වෛද්‍ය ප්‍රතිකාර සහ වනසතුන්ගේ දර්ශන උපයෝගී කරගනිමින් විදේශාධාර සහ ඩොලර් උපයන සංවිධානාත්මක ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බවත්, මෑතකදී මියගිය ‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය පිටුපස ද එවැනි කුමන්ත්‍රණකාරී තත්ත්වයක් පැවතියේද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පුළුල් විමර්ශනයක් අරඹා ඇති බවත් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අනාවරණය කළේය.

ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘මහජන දිනය’ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

වනජීවී දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන් ද සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ජාවාරම හරහා, වනසතුන්ට ප්‍රතිකාර කරන ආකාරය වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය සහ යූටියුබ් නාලිකා ඔස්සේ විකාශය කරමින් මූල්‍යමය වාසි ලබාගන්නා බවට බරපතළ චෝදනා එල්ල වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

ඇතැම් පාර්ශ්වයන් වනජීවී නිලධාරීන්ට පවා කැමරා උපකරණ සපයමින් මෙම දර්ශන ලබාගෙන, මෙරට මෙන්ම විදෙස්ගත අන්තර්ගත නිර්මාණකරුවන් වෙත විකුණා මුදල් උපයන බව ද හෙළිදරව් වී තිබේ.

විශේෂයෙන්ම, වනජීවීන් රැකගැනීමේ සහ සතුන්ට ප්‍රතිකාර කිරීමේ මුවාවෙන් අදාළ යූටියුබ් වීඩියෝවලට ‘ඩොනේෂන් ලින්ක්ස්’ ඇතුළත් කර විදේශිකයන්ගෙන් ඩොලර් ආධාර ලබාගෙන ඒවා සිය පෞද්ගලික බැංකු ගිණුම්වලට බැර කරගැනීමේ වංචාවක් සිදුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ පිළිබඳව අවධානය යොමුවීමත් සමඟ අදාළ නාලිකා මගින් එම ලින්ක්ස් ඉවත් කරගැනීමට කටයුතු කර ඇති බව ද සඳහන් කළේය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ප්‍රතිකාර, ඖෂධ සහ වාහන පහසුකම් සඳහා රජයෙන් වෙන්කළ විශේෂ අරමුදලක් පවතින බව අවධාරණය කළ අමාත්‍යවරයා, සතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජය හෝ වනජීවී දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක මහජනතාවගෙන් හෝ විදේශිකයන්ගෙන් පෞද්ගලිකව මුදල් එක්රැස් නොකරන බව පැහැදිලි කළේය.

කාවන්තිස්ස ඇතාගේ අවාසනාවන්ත මරණය පිටුපස මෙවැනි ජාවාරම්කාරී කුමන්ත්‍රණයක් පවතින්නේද යන්න පිළිබඳව මාධ්‍යවේදියා කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම සැකය සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකි බවයි. 

ඩොලර් ලබාගැනීමේ අරමුණින් වනසතුන්ට හිතාමතා වෙඩි තැබීම් හෝ ප්‍රතිකාර ක්‍රියාවලීන් කඩාකප්පල් කිරීමක් සිදුවන්නේ ද යන්න පිළිබඳව දැඩි අවධානය යොමුව ඇති බැවින්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත් බව හෙතෙම පැවසීය.

රජය විසින් වනජීවී ක්ෂේත්‍රයේ සිදුවන මෙවැනි අක්‍රමිකතා නියාමනය කර නිසි ක්‍රමවේදයකට ගෙන ඒමට සූදානම් වන විට, සිය හොර ජාවාරම අහිමි වේ යැයි බියෙන් කලබලයට පත්ව සිටින පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය, ද්වේෂසහගත සහ මහජනතාව නොමග යවන සුළු ව්‍යාජ ප්‍රචාර පතුරුවමින් සිටින බව ද අමාත්‍ය ධම්මික පටබැඳි මහතා වැඩිදුරටත් කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: