hit counter

2026 ඔක්‍තෝබර් මස 30 වන සිකුරාදා

2026 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:13



 වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ සමාජ පරිවර්තනයක් හෝ යහපත් රාජ්‍යයක් ගොඩනැගීමට නොව, තම දේශපාලන විරුද්ධවාදීන් නිශ්චිත කාලසීමාවක් තුළ කොටු කර මර්දනය කිරීමේ පටු උපායමාර්ගයකින් යුතුව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පළකලේය.

මැතිවරණ වේදිකාවේදී ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය විසින් ජනතාව හමුවේ ප්‍රතිඥා දුන් නව දේශපාලන සංස්කෘතිය සහ ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ පිළිබඳ පොරොන්දු, වත්මන් පාලනය යටතේ ක්‍රියාවට නැංවෙන අත්තනෝමතික ප්‍රවේශයන් සමඟ මුළුමනින්ම පරස්පර විරෝධී වී ඇති බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියෙකු සතු උත්තරීතර පුද්ගල නිදහස ආරක්ෂා කරනු වස් ස්වාධීන අධිකරණය සතුව පැවතිය යුතු අතිශය සංවේදී හා තීරණාත්මක බලතල, බාහිර විමර්ශන ආයතන වෙත පවරාදීමට ආණ්ඩුව සැරසෙන බවට හිටපු මන්ත්‍රීවරයා චෝදනාවක් එල්ල කළේය. 

ශක්තිමත් දේශපාලන ප්‍රතිවාදීන් නොමැති හිස් යුද පිටියක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් නීතිය අවියක් කරගනිමින් මෙවැනි නව කෙටුම්පත් සම්පාදනය වෙමින් පවතින බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය හෝ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි අලුතින් නීති සම්පාදනය කිරීමට කිසිදු රජයකට නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය සහ දේශපාලන විද්‍යා මූලධර්ම උපුටා දක්වමින් හෙතෙම අවධාරණය කළේය.

මීට අමතරව, හෝමාගම පොලිස් සිරමැදිරිය තුළදී තරුණයෙකු අභිරහස් ලෙස මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකළ ඒ මහතා, සිරමැදිරියෙන් නැඟුණු අඳෝනාව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට නෑසුණේදැයි ප්‍රශ්න කර සිටියේය. 

වරදක් කළ අයෙකුට වුවද නීත්‍යනුකූලව දඬුවම් නියම කිරීමේ බලය ඇත්තේ අධිකරණයට පමණක් බව සිහිපත් කළ හිටපු මන්ත්‍රීවරයා, පොලිස් කූඩුවක් තුළදී සැකකරුවෙකු මරණය දක්වා ගෙන යන එවැනි අමානුෂික පරිසරයකට නීතිමය ආරක්ෂාව සපයන ආකාරයේ අලුත් නීති සැකසීම අතිශය භයානක තත්ත්වයක් බවද වැඩිදුරටත් කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: