hit counter

2026 ඔක්‍තෝබර් මස 31 වන සෙනසුරාදා

2026 නොවැම්‍බර් 01, පෙ.ව. 12:09



කොළඹ වරායෙන් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බව කියන ආන්දෝලනාත්මක කන්ටේනර් 323 පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු හිතාමතාම අඩාල කරමින්, එහි වාර්තාව ඉදිරිපත් කිරීම වසන් කිරීමට රජය උත්සාහ දරන බව එම කාරක සභාවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා චෝදනා කරයි.

හිරු රූපවාහිනියේ විකාශය වූ ‘සළකුණ’ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.

කාරක සභාවේ වත්මන් ප්‍රගතිය පිළිබඳව වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙම කාරක සභාව ආරම්භයේ සිටම අසාධාරණ ලෙස ක්‍රියාත්මක වූ බවයි. 

විපක්ෂය විසින් ඉදිරිපත් කළ සාක්ෂිකරුවන් කැඳවීම සහ සාක්ෂි ලැයිස්තු ප්‍රතික්ෂේප කිරීමට කාරක සභාව පියවර ගත් බවත්, කෙසේ හෝ මේ වන විට සාක්ෂි විමසීමේ කටයුතු අවසන්ව ඇති බවත් ඔහු පැවසීය.

ඉන් අනතුරුව කාරක සභාවේ සභාපතිවරයා වන අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් සාකච්ඡාව සඳහා නිගමන ඇතුළත් කෙටුම්පතක් ඉදිරිපත් කළ යුතුව තිබුණද, අවසන් සාකච්ඡාව පවත්වා මාස තුනකට අධික කාලයක් ගතවී ඇතත් මෙතෙක් එම කෙටුම්පත ඉදිරිපත් කර නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

තේරීම් කාරක සභාවේ කාලය අවස්ථා ගණනාවකදීම මාස තුනෙන් තුනට දීර්ඝ කරගෙන ඇති නමුත්, සභාපතිවරයාට මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කිසිදු සැබෑ උනන්දුවක් නොමැති බවත්, මහජනතාව තුළ මේ වන විටත් ඒ පිළිබඳ දැඩි සැකයක් මතුව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම සිදුවීම මෙරට ඉතිහාසයේ සිදුවූ විශාලතම මූල්‍ය සහ බඩු බාහිරාදිය ආශ්‍රිත වංචාවක් බව පෙන්වා දුන් අජිත් පී. පෙරේරා මහතා, මෙහි බරපතළකම පිළිබඳව වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

රේගු පද්ධතිය තුළ රතු සහ ඇම්බර් ලෙස වර්ගීකරණය කර තිබූ, එනම් අනිවාර්යයෙන්ම භෞතිකව පරීක්ෂා කළ යුතු අතිශය අවදානම් සහගත කන්ටේනර් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරව පැය කිහිපයක් ඇතුළත නිදහස් කර තිබේ.

මෙම නිදහස් කිරීම සිදුකර ඇත්තේ විධායකයේ සහ වගකිවයුතු අමාත්‍යවරුන්ගේ සෘජු නියෝග මත රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලපෑම් එල්ල කිරීමෙනි.

වරායේ තදබදයක් පවතින බව පෙන්වා කන්ටේනර් කඩිනමින් නිදහස් කිරීමට හේතු දැක්වුවද, එම තදබදය කෘත්‍රිමව නිර්මාණය කරන ලද්දක් බව කාරක සභාව හමුවේ දුන් සාක්ෂිවලින් පැහැදිලි වී ඇත.

කාරක සභාව තුළදී ඇතැම් පාර්ශ්ව කන්ටේනර් මගින් මත්ද්‍රව්‍ය නොපැමිණෙන බව ප්‍රකාශ කළද, මෑතකදී පවා කන්ටේනර් දෙකක තිබී රුපියල් බිලියන ගණනක මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගත් බව සිහිපත් කළ මන්ත්‍රීවරයා, එම මත්ද්‍රව්‍ය ඇල්ලූ නිලධාරීන්ට එරෙහිව පවා විනය පියවර ගැනීමට උත්සාහ කළ බවත්, ස්වාධීන පොලිස් කොමිසම මැදිහත් වීමෙන් එම නිලධාරීන් ආරක්ෂා වූ බවත් සඳහන් කළේය.

එසේම මෙම ආන්දෝලනාත්මක සිදුවීමට අදාළව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ප්‍රධාන වගකිවයුත්තන් සාක්ෂි දීමෙන් වැළකී සිටි බවටද මන්ත්‍රීවරයා එහිදී චෝදනා කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: