hit counter

2026 ඔක්‍තෝබර් මස 30 වන සිකුරාදා

2026 ඔක්‍තෝබර් 30, ප.ව. 3:07



මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘හරක් කටා’ නමැත්තාට සහන සලසා දීම සඳහා රුපියල් කෝටි 12ක (මිලියන 120ක) අල්ලසක් ලබාගැනීමේ සිද්ධියට අදාළව, නඩුවේ පළමු සැකකරු වන චරිත් අබේසිංහට අයත් සුඛෝපභෝගී නිවසක් තහනම් කිරීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (30) දැනුම් දුන්නේය.

අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද මෝසමක් සලකා බලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ, මෙම නඩුවේ දෙවන සැකකරු වන හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් හතරක් සහ සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් මේ වන විටත් තහනම් කර ඇති බවයි.

මීට අමතරව, සිද්ධියේ තුන්වන සැකකරු වන වරුණ හන්දිගේ අරුණ චතුරංග නමැත්තාගේ බිරිඳට සහ පියාට අයත් බව කියන වාහන දෙකක ගනුදෙනු අත්හිටුවීමට ද පියවර ගෙන ඇති බව කොමිසම අධිකරණය හමුවේ තහවුරු කළේය.

මෙම සියලු වත්කම් සහ දේපළ අත්හිටුවීමේ ක්‍රියාමාර්ග ගනු ලබන්නේ 2025 අංක 5 දරන අපරාධවලින් උපයාගත් වත්කම් පිළිබඳ පනත යටතේ බව අල්ලස් කොමිසම මෙහිදී අවධාරණය කර සිටියේය

මෙම වත්කම් තහනම් කිරීමට අදාළ සවිස්තර වාර්තාව පැය 72ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ කොමිසමේ නිලධාරීන්, විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා සුදුසු දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ නඩුව යළි ලබන දෙසැම්බර් මස 08 වැනිදා කැඳවීමට නියෝග කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: