hit counter

2026 ඔක්‍තෝබර් මස 30 වන සිකුරාදා

2026 ඔක්‍තෝබර් 30, ප.ව. 3:02



අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14කට ආසන්න පිරිසකගේ සහනාධාරය අත්හිටුවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල පවසයි.

දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව ලක්ෂ 12කට ආසන්න සංඛ්‍යාවක් බවත් ලක්ෂ 14ක පිරිසකගේ ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවත් ඔහු පෙන්වා දෙයි.

අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන සමාලෝචනයට අනුව, පළමු අදියර සඳහා තේරී පත් වූ ප්‍රතිලාභීන් 991,000කගේ නාමලේඛනය ප්‍රකාශයට පත් කර තිබේ. පළමු අදියර යටතේ දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව 989,000ක් පමණ වන බැවින්, නව සමාලෝචනයට අනුව ප්‍රතිලාභීන් 2,000ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් 215,000ක් පමණ සිටින අතර, එම අදියරේ සමාලෝචනය ලබන වසරේදී සිදු කිරීමට නියමිතය. ඒ අනුව, එම සමාලෝචනය සිදු කරන තෙක් දැනට සිටින ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාවෙහි වෙනසක් සිදු නොකර අස්වැසුම ප්‍රතිලාභ අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසීය.

තවද, පළමු අදියර යටතේ තවත් ප්‍රතිලාභීන් 740,000ක පමණ පිරිසක් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට නියමිතව තිබේ. මෙම සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉදිරියේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව අඩු වීමක් නොව, වැඩි වීමක් සිදුවිය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

එබැවින් අස්වැසුම ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන මෙවැනි අසත්‍ය හා නොමඟ යවන සුළු තොරතුරුවලට නොරැවටෙන ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේ පැවති ප්‍රජා සවියට නව බලයක් වැඩසටහන පිළිබඳව සමෘද්ධි නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: