hit counter

2026 ඔක්‍තෝබර් මස 25 වන ඉරිදා

2026 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:21



ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස් දැක්වූ එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වීදි සටන් කළ  අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ ඉතාමත් වේගයෙන් රට තුළ ඒකාධිපතිත්වය පතුරවමින් සිටින බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂටත් වඩා ඒකාධිපතිත්වයක් රට තුළ ගොඩනැගීමට කටයුතු කරන බවයි.

ආණ්ඩුව විසින් ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය මෙන්ම මාධ්‍යවේදීන්ගේ පෑන සහ කැමරාව හැසිරවීමේ අයිතියද උදුරා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඔහු පැවසුවේ ආණ්ඩුවට වැඩ කිරීමට හැකියාවක් හා දක්ෂතාවක් නොමැති බවයි.

ජනතාවගේ ජීවන බර අඩු කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බව එස්.එම් මරික්කාර් කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ආණ්ඩුවට ලබා දී ඇති ජනවරම අහෝසි වී ඇති බවයි.

ආණ්ඩුව විසින් කුමන ආකාරයේ පනත් ගෙනැවිත් මර්දනයන් සිදු කිරීමට උත්සහ කළත් එම මර්දනයන් කිසි විටෙකත් සිදු කළ නොහැකි බව එස්.එම් මරික්කාර්  සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා

“ ප්‍රජාතන්ත්‍රවාදය ගැන බණ කියපු අනුර කුමාර සහ මේ ජේවීපී කට්ටිය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන පාරට බැහැල උද්ඝෝෂණය කරපු අය අද ඉතාම වේගයෙන් අන් කවර ආණ්ඩුවක්වත් මහින්ද රාජපක්ෂවත් නොකරපු ආකාරයට ඒකාධිපතිත්වය පතුරවමින් යනවා. ඒ අන් කවරක් නිසා නෙමෙයි මිනිස්සුන්ගේ කතා කිරීමේ අයිතිය, මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමෛ් අයිතිය, මාධ්‍යවේදීන්ගේ පෑනේ, කැමරාවේ තියෙන අයිතිය මර්දනය කරන්නේ. වෙන මුකුත් නෙමේ ඒගොල්ලොම දන්නවා ඒගොල්ලෝ වැඩ බැරි ටාසන්ලා කියලා.

ඒ නිසා තෙල් මිල අඩු කරලත් නෑ. කරන්ට් බිල අඩු කරලත් නෑ. බඩු මිල අඩු කරලත් නෑ. බෙහෙත් මිල අඩු කරලත් නෑ. එක ආයෝජනයක් ගෙනැල්ලත් නෑ. මේ රටේ තුන්වේල කාපු මිනිස්සු අද දෙවේලක් කන මිනිස්සු බවට පත් කරලා. අනාගතය ගැන කිසිම අවබෝධයක් බලාපොරොත්තුවක් නැති මිනිස්සු බවට ජනතාවක් බවට නිකන් හිරිවට්ටපු සමාජයක් බවට පත් කරලා තියෙන්නේ මේ ආණ්ඩුව.

එතකොට ඒගොල්ලෝ දන්නවා මිනිස්සු මේ ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් කනකර ආභරණ උකස් තියන්න තත්වයට පත් කරලා දැන් හෙට අනිද්දට මිනිස්සු පාරට බහිනවා කියලා දන්නවා. එතකොට ඒ  පාරට බහින එක නවත්වන්න බය කරන්නයි මේවා වාර්තා කරන එක මාධ්‍යවේදීන්ව වහන්න තමයි මේ කටයුතු කරන්නේ.

එකක් මතක තියාගන්න ඕනි. ආණ්ඩුවට එහෙම හැම එකම හිතූ හිතූ පරිදි කරන්න බැහැ. මොකද අද මේ ආණ්ඩුවට ලබාදුන්න ජනවරම අහෝසි වෙලා තියෙන්නේ. මේ රටේ මහජනතාව දන්න පුළුවන් දේශපාලන පක්ෂ දෙකයි ඉන්නේ. ජාතික ජන බලවේගයයි, සමගි ජන බලවේගයයි. දැන් ජාතික ජන බලවේගය සීඝ්‍රයෙන් දියවෙමින් ඒ ජනතාව සමගි ජන බලවේගය කරා ආකර්ෂණය වෙමින් පවතිනවා. මොකද හේතුව මිනිස්සුන්ට ඕනි දැන් මිනිස්සුන්ගේ දුක තේරුම් ගත්තු බඩු මිල අඩු කරන්න පුළුවන් ආණ්ඩුවක්.

අපට පුළුවන් ඒක කරන්න. අපි කියන්නේ නැහැ අරගොල්ලෝ වගේ අරක නිකන් දෙන්නම්, මේක නිකන් දෙන්නම් , නැවෙන් බාන ගානට දෙන්නම් තුනෙන් එකෙන් අඩු කරන්නම් කියලා. හැබැයි ජනතාවට මීට වඩා සහන ලබා දෙන්න පුළුවන්. ඒ කොහොමද? අපේ ආණ්ඩුවක් ආවොත් මෙන්න මේ වාමාංශික ආණ්ඩුවට බැරිවෙච්ච සෘජු විදේශ ආයෝජන ඩොලර් බිලියන 10ක්වත් අපිට පළවෙනි අවුරුද්ද ඇතුළත මේ රට ඇතුළට ගෙන්න පුළුවන්. ඒ නිසා මොන පනත ගෙනාවත් මොන පනත් ගෙනැල්ලා කට වහන්න හැදුවත් ඒක මේ ආණ්ඩුවට කරන්න හම්බවෙන්නේ නැහැ කියන එක මම පැහැදිලිව කියන්න ඕනි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: