hit counter

2026 සැප්‍තැම්‍බර් මස 25 වන සිකුරාදා

2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:13



වැවිලි ක්ෂේත්‍රයේ නාමය අව­භා­විත කර­මින් පව­ත්වා­ගෙන යනු ලබන නීති­වි­රෝධි වංච­නික ආයෝ­ජන ව්‍යාපෘ­ති­ව­ලින් මහ­ජ­න­තාව ආරක්ෂා කර­ගැ­නී­මට සහ ක්ෂේත්‍රයේ කීර්ති­නා­මය සුරැ­කී­මට ශ්‍රී ලංකා මහ බැංකුව සහ නීතිය බලා­ත්මක කිරීමේ බල­ධා­රීන් සමඟ එක්ව කට­යුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධි­පති ආචාර්ය නන්ද­ලාල් වීර­සිංහ මහතා ලංකා වැවි­ලි­ක­රු­වන්ගේ සංග­ම­යෙන් ඉල්ලී­මක් කරයි.

කොළඹ සින­මන් ග්‍රෑන්ඩ් හෝට­ල­යේදී පැවති ලංකා වැවි­ලි­ක­රු­වන්ගේ සංග­මයේ 172 වැනි වාර්ෂික මහා සභාව අම­ත­මින් මහ බැංකු අධි­ප­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය.

මෑත කාල­යේදී ‘වැවිලි’ යන නාමය භාවිත කර­මින්, කෙටි කාල­ය­කින් අධික ප්‍රති­ලාභ ලබා­දෙන බවට ව්‍යාජ පොරොන්දු දෙමින් පව­ත්වා­ගෙන යනු ලබන නීති­වි­රෝධි තැන්පතු ලබා­ගැ­නීමේ ව්‍යාපෘති නිරී­ක්ෂ­ණය වී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

මෙවැනි වංච­නික ක්‍රියා­කා­ර­කම් හේතු­වෙන් සාමාන්‍ය මහ­ජ­න­තා­වගේ මහන්සි වී උප­යා­ගත් මුදල් අහිමි වන අත­රම, පර­ම්පරා ගණ­නා­වක් පුරා ගොඩ­නඟා ඇති වැවිලි ක්ෂේත්‍රයේ විශ්ව­ස­නී­ය­ත්ව­යට හා කීර්ති­නා­ම­ය­ටද බර­ප­තළ හානි­යක් සිදු­වන බව අධි­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

මෙවැනි නීති­වි­රෝධි ක්‍රියා­කා­ර­කම් මර්ද­නය කිරී­මට මහ බැංකුව පිය­වර ගනි­මින් සිටින අතර, මහ­ජ­න­තාව දැනු­වත් කිරී­මට වැවි­ලි­ක­රු­වන්ගේ සංග­ම­යද පෙර­මුණ ගත යුතු බව මහ බැංකු අධි­ප­ති­ව­රයා මෙහිදී පෙන්වා දුන්නේය.

එහිදී අද­හස් දැක්වූ මහ බැංකු අධි­පති ආචාර්ය නන්ද­ලාල් වීර­සිංහ මහතා මෙසේද පැව­සීය.

“රටේ ආර්ථික අර්බු­ද­යෙන් පසු සාර්ව ආර්ථික ස්ථාව­ර­ත්ව­යක් ගොඩ­නැ­ඟෙ­මින් පව­ති­නවා. ශ්‍රී ලංකාවේ කෘෂි­කා­ර්මික අප­න­යන ආදා­යම 2024 වසරේ පැවති අ‍ෙම­රි­කානු ඩොලර් බිලි­යන 2.8 සිට 2025 වන විට අ‍ෙම­රි­කානු ඩොලර් බිලි­යන 3.1 දක්වා ඉහළ ගොස් තිබෙ­නවා. ශ්‍රී ලංකා ඉති­හා­සයේ කෘෂි­කා­ර්මික අප­න­යන ආදා­යම ඩොලර් බිලි­යන 3 සීමාව පසු­කළ ප්‍රථම අව­ස්ථාව මෙයයි.‍”

මෙහිදී තේ ප්‍රධාන අප­න­යන භෝගය ලෙස පැවති අතර, 2025 වස­රේදී පොල් නිෂ්පා­දන අප­න­ය­න­යෙන් පම­ණක් අ‍ෙම­රි­කානු ඩොලර් මිලි­යන 573ක ආදා­ය­මක් වාර්තා වුණා. මැද­පෙ­ර­දිග ගැටුම් සහ ‘දිට්වා’ සුළි කුණා­ටුව වැනි අභි­යෝග මධ්‍යයේ වුවද, 2026 වසරේ දෙවැනි කාර්තු­වේදී දළ දේශීය නිෂ්පා­දි­තය (GDP) සිය­යට 4.2ක වර්ධ­න­යක් ලබා ඇති අතර උද්ධ­ම­නය සිය­යට 5ක ඉල­ක්ක­ගත මට්ට­මට පැමි­ණෙනු ඇතැයි අපේක්ෂා කර­නවා.

2021 වස­රේදී තේ කිලෝ­ග්‍රෑ­ම­යක් නිෂ්පා­ද­නය කිරී­මට ගිය පිරි­වැය රුපි­යල් 618ක් වූ අතර, 2025 වන විට එය රුපි­යල් 1,043 දක්වා ඉහළ ගොස් තිබෙ­නවා. රබර් කිලෝ­ග්‍රෑ­ම­යක නිෂ්පා­දන පිරි­වැය රුපි­යල් 350 සිට රුපි­යල් 686 දක්වා ඉහළ ගොස් තිබෙ­නවා. තේ වතු­වල නිෂ්පා­දන පිරි­වැ­යෙන් සිය­යට 65ක් දක්වා ප්‍රමා­ණ­යක් වැය වන්නේ ශ්‍රමය සඳ­හායි.

ජන­ග­හන විප­ර්යාස සහ විදේ­ශ­ග­ත­වීම් නිසා වතු ශ්‍රම බළ­කාය අඩු­වෙ­මින් පව­තින අතර, ඉන්දි­යාව සහ කෙන්යාව වැනි තර­ග­කාරී රට­ව­ලට සාපේ­ක්ෂව ශ්‍රී ලංකාවේ තේ සහ රබර් ශ්‍රම ඵල­දා­යි­තාව පහළ මට්ට­මක පව­ති­නවා. වය­ස්ගත වූ වගා­වන්, නැවත වගා කිරීම ප්‍රමාද වීම සහ යාන්ත්‍රී­ක­ර­ණය නොවීම මීට ප්‍රධාන හේතු වී තිබෙ­නවා.

කාල­ගු­ණික විප­ර්යා­ස­ය­න්ගෙන් එල්ල වන අව­දා­නම් ජය­ගැ­නී­මට සහ ජාත්‍ය­න්තර තර­ග­කා­රි­ත්වය පවත්වා ගැනී­මට දීර්ඝ­කා­ලීන ආයෝ­ජන, නවීන තාක්ෂ­ණය, අගය එකතු කළ නිෂ්පා­දන (value-added products) සහ සංචා­රක ව්‍යාපා­රය වැනි ක්ෂේත්‍ර වෙත යොමු වීම අත්‍ය­ව­ශ්‍ය­යි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: