hit counter

2026 නොවැම්‍බර් මස 03 වන අඟහරුවාදා

2026 නොවැම්‍බර් 03, පෙ.ව. 11:38



ශ්‍රී ලංකාවේ වන අලි ගහනය සංරක්‍ෂණය කිරීම සහ අලි – මිනිස් ගැටුම අවම කිරීමේ ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයෝ මේ වන විට සක්‍රීයව දායක වෙමින් සිටිති. ඒ අනුව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව සිදුකරන ඒකාබද්ධ මෙහෙයුම් මඟින් වන සතුන්ට හානි කිරීමට යොදාගන්නා නීතිවිරෝධී ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කළ උගුල් ඇතුළු උපකරණ රැසක් සොයාගෙන ඇති අතර, කාන්තාවක් ද ඇතුළුව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද සමත්ව තිබේ.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ වන සතුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ මෙහෙයුම් හැකියාවන් සහ අදාළ රාජ්‍ය ආයතනවල දායකත්වය ඒකාබද්ධ කරමින් කටයුතු කෙරේ. ඒ අනුව, ත්‍රිවිධ හමුදාවේ මෙහෙයුම් සම්බන්ධීකරණය සහ අධීක්‍ෂණය සඳහා යුද හමුදා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ද ස්ථාපිත කර ඇත.

පරිසර අමාත්‍යාංශය, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් සමඟ එක්ව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ වන්නේ වන සතුන්ට එල්ල වන තර්ජන මැඩපැවැත්වීම සඳහා විධිමත් හා සම්බන්ධීකරණය වූ ප්‍රතිචාරයක් ලබාදීමයි.

මෙම ජාතික වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාව, වනජීවී නිලධාරීන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පශු වෛද්‍ය නිලධාරියෙකුගේ සහභාගිත්වයෙන් මීකිරියාව සහ නීගිනියාව ප්‍රදේශ ආශ්‍රිතව ඒකාබද්ධ මෙහෙයුම් දැනටමත් ක්‍රියාත්මක කර තිබේ.

එම මෙහෙයුම්වලදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනවසර ගිනි අවි, මදු, හක්කපටස්, පතොරම්, මුව අං, මුව අංවලින් නිෂ්පාදනය කළ පිහි ඇතුළු නීති විරෝධී භාණ්ඩ රැසක් සොයාගෙන ඇත.

මේ අතර, පරිසර අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන දිවයින පුරා ව්‍යාප්ත ‘හස්ති සේනා’ මෙහෙයුම නොවැම්බර් 02 දින ගල්ගමුව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ. මෙම මෙහෙයුමේ ආරම්භක අදියර සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් 60 දෙනෙකු යොදවා ඇති අතර, ඔවුන් කණ්ඩායම් හයක් යටතේ මෙහෙයුම් කණ්ඩායම් 10ක් ලෙස සංවිධානය කර ඇත. එහිදී, අවධානමට ලක්ව ඇති බවට හඳුනාගෙන ඇති වන අලි 17 දෙනෙකුගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කෙරේ.

යුද හමුදාපතිවරයාගේ සෘජු අධීක්‍ෂණය යටතේ විද්‍යාත්මක හා ක්‍රමානුකූල ප්‍රවේශයක් ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන මෙම මෙහෙයුම, වන අලි සැරිසරන වනාන්තර ප්‍රදේශවලින් සියයට 80ක් පමණ ආවරණය වන පරිදි පුළුල් කිරීමට ද සැලසුම් කර තිබේ.

මෙම වැඩපිළිවෙළ යටතේ වන අලි සහ ඇතුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන නීතිවිරෝධී ගිනි අවි භාවිතය, හක්කපටස් යෙදීම, අනවසර විදුලි වැටවල් සකස් කිරීම සහ මදු ඇටවීම ඇතුළු ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත. ඒ සඳහා ඒකාබද්ධ නිරීක්‍ෂණ කටයුතු, බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම, ක්ෂේත්‍ර මෙහෙයුම් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු විධිමත්ව සිදුකිරීමට නියමිතය. ජාතික වනජීවී සංරක්‍ෂණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් අලි-මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය ඇතුළු අදාළ රාජ්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ මෙහෙයුම් හැකියාවන් ඵලදායී ලෙස යොදාගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය හා පහසුකම් සැලසීම ආරක්‍ෂක ලේකම්වරයාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් අඛණ්ඩව සිදුකරනු ලබයි.