hit counter

2026 නොවැම්‍බර් මස 03 වන අඟහරුවාදා

2026 නොවැම්‍බර් 03, පෙ.ව. 11:03



ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත උරුමය නවීන විලාසිතා නිර්මාණ සමඟ ඒකාබද්ධ කරමින් දේශීය ශිල්පීන්ගේ නිර්මාණශීලීත්වය ජාත්‍යන්තරයට හඳුන්වාදීමේ අරමුණින් සංවිධානය කළ ‘Ceylon Craft Runway ’26’ විලාසිතා දැක්ම පසුගියදා සාර්ථකව පැවැත්විණි.

‘Ceylon Craft Week 2026’ වැඩසටහනේ විශේෂාංගයක් ලෙස පැවැති මෙම විලාසිතා දැක්ම සඳහා ශ්‍රී ලාංකේය නිර්මාණකරුවන් 32 දෙනෙකුගේ නිර්මාණ එක්කර තිබූ අතර, එමඟින් මෙරට සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයට නවීන විලාසිතා සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ සම්බන්ධ වීමට ඇති හැකියාව ප්‍රදර්ශනය කෙරිණි. මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ද සහභාගී විය.

ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරන ලද ‘Ceylon Craft Week 2026’ වැඩසටහන මෙවර ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ, මෙරට හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය නව දැක්මක් යටතේ ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළේ කොටසක් වශයෙනි. එම වැඩසටහනට වෙළෙඳ ප්‍රදර්ශනයක්, නව හස්ත කර්මාන්ත නිර්මාණ හඳුන්වාදීමක්, ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ ඉදිරිපත් කිරීමක් සහ විලාසිතා දැක්මක් ඇතුළු අංග කිහිපයක් ඇතුළත් විය.

‘Ceylon Craft Runway ’26’ විලාසිතා දැක්ම සඳහා ස්වර්ණාභරණ, දැව නිර්මාණ, පිඟන් මැටි, පිත්තල හා රිදී නිර්මාණ, වේවැල් හා ලාක්ෂා නිර්මාණ, බෑග් සහ අනෙකුත් උපාංග, පන් හා කොළ ආශ්‍රිත නිෂ්පාදන, තල් ආශ්‍රිත නිර්මාණ, සම් නිෂ්පාදන, පරිසර මුද්‍රණ කලාව (Eco Printing), බතික්, අතින් සිතුවම් කිරීම, බීරළු ලේස් සහ දැව කැටයම් ඇතුළු විවිධ හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජනය කරන නිර්මාණ ඇතුළත් විය.

මෙම විලාසිතා දැක්මේ ඇඳුම් නිර්මාණ තෝරාගැනීම, උපාංග සැලසුම් කිරීම, ඇඳුම් හැඩගැන්වීම සහ ඉදිරිපත් කිරීමේ පෙළගැස්ම සකස් කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ රෙදිපිළි හා ඇඟලුම් තාක්ෂණ ඉංජිනේරු අධ්‍යයනාංශයේ විලාසිතා නිර්මාණ හා නිෂ්පාදන සංවර්ධන අංශය දායකත්වය ලබා දී තිබිණි.

ජාතික ශිල්ප සභාව පසුගිය වසර දෙකක කාලය තුළ නව දැක්මක් සහ නව පනතක් යටතේ මෙරට හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක නිරතව සිටී. එහි අරමුණ වන්නේ දේශීය ශිල්පීන්ගේ නිර්මාණ සඳහා වැඩි වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කිරීම, නවෝත්පාදනය දිරිගැන්වීම සහ හස්ත කර්මාන්ත නිෂ්පාදනවල වාණිජ වටිනාකම ඉහළ නැංවීමයි.

හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගිය ආර්ථික වැදගත්කමක් ද සහිත ක්ෂේත්‍රයකි. එය රැකියා උත්පාදනය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය, නව නිෂ්පාදන සංවර්ධනය සහ අපනයන ආදායම් වර්ධනය සඳහා සැලකිය යුතු විභවයක් සතු වේ. සාම්ප්‍රදායික ශිල්පීය දැනුම නවීන නිර්මාණකරණය සමඟ ඒකාබද්ධ කිරීම තුළින් දේශීය හස්ත කර්මාන්ත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට වඩාත් ඵලදායී ලෙස හඳුන්වාදීමට හැකි වනු ඇත.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබාදුන් ජාතික ශිල්ප සභාවේ සභාපති ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මහත්මිය, ශිල්ප සභාවේ නිලධාරීන්, මොරටුව විශ්වවිද්‍යාලයේ කණ්ඩායම, නිර්මාණකරුවන් සහ ශිල්පීන්ගේ කැපවීම මෙහිදී අගය කෙරේ.