hit counter

2026 නොවැම්‍බර් මස 10 වන අඟහරුවාදා

2026 නොවැම්‍බර් 10, පෙ.ව. 9:36



ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් (OBST) මෙහෙයුම්වල වත්මන් ප්‍රගතිය සහ මූල්‍ය කාර්යසාධනය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ගාල්ල, පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණයේ සිදුකරන ලද නිරීක්ෂණ චාරිකාවේදී හඳුනාගත් කරුණු පිළිබඳවය. වෙළඳ නෞකාවල ආරක්‍ෂාව සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ක්‍රියාත්මක වන විදේශීය පෞද්ගලික සාගරික ආරක්‍ෂක සමාගම්වලට (PMSCs) අයත් අවි ආයුධ සහ මෙහෙයුම් උපකරණ ගබඩා කර තබනු ලබන්නේ මෙම පරිශ්‍රයේය.

ඒ අනුව, නිරීක්‍ෂණ චාරිකාවේදී හඳුනාගත් ගැටලු සහ ඒවාට ගත යුතු විසඳුම්, OBST මෙහෙයුම්වල වත්මන් මෙහෙයුම් හා මූල්‍ය ප්‍රගතිය මෙන්ම එම මෙහෙයුම් තුළින් උපයන ආදායම තවදුරටත් ඉහළ නැංවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම මෙහෙයුම් අඛණ්ඩව, විධිමත්ව සහ කාර්යක්‍ෂමව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම, නිසි මෙහෙයුම් හා මූල්‍ය කළමනාකරණය තුළින් අපේක්‍ෂිත ප්‍රතිඵල ළඟා කර ගැනීමේදී සියලු කටයුතුවල පාරදෘශ්‍යභාවය සහ වගවීම උපරිම මට්ටමින් පවත්වාගෙන යාමේ වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ජනාධිපති උපදේශක (නීති කටයුතු) ජ්‍යෙෂ්ඨ නීතිඥ, ජේඑම් විජේබණ්ඩාර මහතා, ආරක්‍ෂක ලේකම්, නාවික හමුදාපති, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සිවිල් ආරක්‍ෂක හා සංවර්ධන), රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ සභාපතිවරයා ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.