hit counter

2026 නොවැම්‍බර් මස 10 වන අඟහරුවාදා

2026 නොවැම්‍බර් 10, පෙ.ව. 9:53



“Sky Care Hospital Management Ltd’ සමාගමේ කළමනාකාරිත්වය යටතේ, මාලඹේ පිහිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නිල වශයෙන් යළි විවෘත කිරීමේ උත්සවය නොවැම්බර් 09 දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ.

2026 පෙබරවාරි මාසයේදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ මෙහෙයුම් කළමනාකරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා දෙන ලදී.

රෝහල යළි විවෘත කිරීම සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා වන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා විසින් සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා සමඟ රෝහල් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. එහිදී රෝහල සතු වෛද්‍ය පහසුකම්, ප්‍රතිකාර සේවා සහ යටිතල පහසුකම් පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

මෙම අවස්ථාවට මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ, ගුවන් හමුදාපතිවරයා, ආරක්‍ෂක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ බිරිඳ ස්වර්ණමාලි ප්‍රනාන්දු මහත්මිය සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ රැසක් එක්ව සිටියහ.