hit counter

2026 නොවැම්‍බර් මස 27 වන සිකුරාදා

2026 නොවැම්‍බර් 28, පෙ.ව. 12:05



වර්තමානයේ ඇතැමුන් විසින් විහිළුවක් සේ සැලකුව ද, ‘පන්ති පහ’ වැඩසටහන මෙරට ඉතිහාසයේ සිදු වූ අතිශය නිර්මාණාත්මක කටයුත්තක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

උදේනි සමන් කුමාර මහතා විසින් රචිත “රෝහණ විජේවීරගේ ප්‍රකාශය” ග්‍රන්ථය කොළඹ මහවැලි කේන්ද්‍රයේදී දොරට වැඩීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

වත්මන් ‘ජෙන් සී’ පරපුර පිළිබඳව කතා කරන පිරිස් ඉතිහාසය අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් සිල්වා මහතා, ඉතිහාසයේ සිදු වූ ඇතැම් ඛේදවාචක යළි ඇතිවීම වළක්වා ගත හැක්කේ ඉතිහාසය නිවැරදිව අධ්‍යයනය කිරීමෙන් පමණක් බව අවධාරණය කළේය.

තම ව්‍යාපාරයේ එකට වැඩ කළ සහෝදරවරුන් දසදහසක් පමණ ඝාතනයට ලක්ව ඇති මොහොතක, කුමන අවස්ථාවක මරා දමනු ඇත්දැයි නොදන්නා අවිනිශ්චිත වාතාවරණයක් තුළ ඇති වූ කම්පනය මධ්‍යයේ රෝහණ විජේවීර මහතා එම ප්‍රකාශය සිදු කළ බව ඔහු පැවසීය.

ව්‍යාපාරයට වැඩිම බලපෑමක් කළ හැකිව සිටි විජේවීර මහතා සිරගත කිරීමෙන් පසු පක්ෂය තුළ වැරදි තීන්දු ගැනීම වැළැක්වීමට නොහැකි වූ බවත්, ඔහු නිදහසේ සිටියා නම් එවැනි වැරදි තීන්දු ගැනීමට ඉඩ නොදෙන බවත් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය. 

ඒ අනුව එම තත්ත්වය බලය ලබා ගැනීමේ අරගලයකට වඩා එවකට පක්ෂය තුළ පැවති අභ්‍යන්තර අර්බුද ඇතුළු කරුණු හේතුවෙන් නිර්මාණය වූවක් බව පැහැදිලි වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

මාක්ස්වාදී සිද්ධාන්ත සහ මූලධර්ම මෙරටට ගැළපෙන පරිදි සකස් කළේ රෝහණ විජේවීර මහතා බව කී සිල්වා මහතා, වමේ ව්‍යාපාරය ශක්තිමත්ව පැවතුණේ නම් කල් ඇතිව සමාජයේ වෙනසක් සිදු කිරීමට හැකියාව තිබූ බවට විශ්වාසයක් ඔහු තුළ පැවති බව සඳහන් කළේය.

විජේවීර මහතාගේ නායකත්වයට නිසි ඇගයීමක් නොලැබී දේශපාලනිකව පසෙකට දමා තිබුණ ද, ඔහු පක්ෂය තුළ නිර්මාණය කළ සටන්කාමී හා යටත් නොවන දේශපාලන සංස්කෘතිය මෙරට පමණක් නොව ලෝකයේ සෙසු දේශපාලන පක්ෂවලට ද අභියෝගයක් වූ බව ඔහු කියා සිටියේය.

අලුත් සමාජයක් පිළිබඳ සිහින දකින පිරිස් තවමත් සිටින බව පැවසූ ටිල්වින් සිල්වා මහතා, රට ගොඩනැගීමේ ක්‍රියාවලියට බාධා හෝ අකුල් හෙළීම් සිදු නොකර ඊට සහාය ලබා දෙන ලෙසත්, ඒ වෙනුවෙන් සියලු දෙනා යමක් කළ යුතු බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: