hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2022 අගෝස්‍තු 04, පෙ.ව. 11:01



නාඩගම්කරයෝ කියලා කියන්නේ ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම ලැබුණු අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක්.

ප්‍රේක්ෂකයන්ට කෝලම්කුට්ටම දායාද කරමින් නාඩගම්කරයෝ නාට්‍ය නිමාවට පත් වුණා.

එහි අවසාන කොටස නැරඹීමට ප්‍රේක්ෂකයන් ඇඟිලි ගනිමින් සිටි බව නම් නොරහසක්.

දේශපාලකයින්ට ද කණේ පහරක් එල්ල කරමින් නාඩගම්කරයෝ නිමා වුණා.

ඒ සම්බන්ධයෙන් නාඩගම්කරයෝ නාට්‍යයේ අධ්‍යක්ෂ සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි.

ස්තූතියි…

නාඩගම්කාරයෝ අවසානයි. නාඩගම්කාරයෝ බිහිවන්නේ මගේ ළමා කාලය ගෙවුනු මහනුවර වටපුළුව ගමේ අත්දැකීම් ඇසුරින්. සංගීත ගුරුවරයෙකු වූ මගේ අප්පච්චි ගමේ තරුණ පිරිසක් හවුල් කරගනිමින් කළ කලා කටයුතු හා ඔවුන්ගේ ජීවිත වලට අරමුණක් එක් කරන්නට දැරූ වෑයම නාඩගම්කාරයෝහි නිර්මාණ සංකල්පයයි. නාඩගම්කාරයෝ ලියන්නට අවශ්‍ය නිර්මාණශීලී අමුද්‍රව්‍ය කුඩා කළ සිටම මට සපයා දුන් අප්පචිටත් අම්මාටත් අයියා නංගි මල්ලි ඇතුළු පව්ලේ සැමට හා වටපුළුව ගමේ ඥාතිමිත්‍රාදීන් සැමටත් මගේ ගෞරවය පුද කර සිටිමි…

රටට වැඩක් ඇති හා ජනතා ආකල්ප ධනාත්මකව වෙන කළ හැකි නිර්මාණයක් කරන ලෙස හැම විටම මා පෙළඹවූ බිරිද චේතනීට ඒ පෙළඹවීම වෙනුවෙන් මෙන්ම තුන්සිය හැටපස් දවසේම ටෙලිනාට්‍ය පිටපතකට හිස ඔබාගෙන සිටින මාගේ අවිවේකී ජීවිතය ඉවසා දරා ගැනීම ගැන අනේක වාරයක් ස්තූතියි.

නාඩගම්කාරයෝ අධ්‍යක්ෂ මාගේ සොදුරු මිතුරා ජයප්‍රකාෂ් සිවගුරුනාදන් ; සිවා ඔබේ භාෂාවෙන්ම කියනවානම් මා බිහිකළ නාඩගම්කාරයෝ නම් දරුවා පෝෂණය කර ආදරයෙන් හදාවදා ගැනීම ගැන ස්තූතියි. අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔබේ ශූරත්වය ඔබ නාඩගම්කාරයෝ හරහා යළි යළිත් ඔප්පු කළා..

එසේම මගේ නිෂ්පාදන හවුල්කරු ; මිතුරු චාමර සමවික්‍රම සොයුරාටත්, අනේකවිධ බාධක කම්කටොළු මධ්‍යයේ නාඩගම්කාරයෝ ගොඩනගන්නට ගත් වෙහෙස මහන්සිය වෙනුවෙන් ස්තූතියි.

නාඩගම්කාරයෝ වෙනුවෙන් තම නිර්මාණ හැකියාව කැප කිරිමට අමතරව ඒ වෙනුවෙන් ශ්‍රමය දහදිය වැගිරවූ ප්‍රභාත්, තිවංක , ජයන්ත, මනෝජ්, වාසනා, ශ්‍රීමාල්, දුලා ඇතුළු නිෂ්පාදන කණ්ඩායමටත් සංගීතය නිර්මාණය කළ දිනේෂ්ටත් නාඩගම්කාරයෝ ගීතය ලියූ බණ්ඩාර ඇහැලියගොඩයන්ටත්, කලායතනයේ සංගීතය මෙහෙයවූ ශාන්ත පීරිස් සොයුරාටත්, මගේ කුරුටු අකුරු කියවා පිටපත ටයිප් කර දුන් තිස්ස විජේසුන්දර මහතාටත් ස්තූතියි.

මගේ පෑනෙන් ලියවුනු චරිත සැබෑ ලෝකයේ ජීවත්වන සැබෑ මිනිසුන් බවට පරිවර්තනය කළ නාඩගම්කාරයෝ අපූරු නළු නිළි කැල; සජිත ,සෙනාලි, ප්‍රසන්නජිත්, ගිරිරාජ්, රහල්, කෝකිල, මීනා, හසිනිකා, ධර්මප්‍රිය ඇතුළු සියල්ලන්ට අනේකවාරයක් ස්තූතියි. මෙතෙක් කිසිදු නාට්‍යක නළු නිළි පිරිසකට නොලැබුණු අන්දමේ අසීමිත ප්‍රේක්ෂක ආදරයක් ඔබට ලැබුණේ ඔබගේ දක්ෂතාවය මෙන්ම කැපවීම නිසා බව මම දනිමි.

ප්‍රධාන චරිතවල සිට අතිරේක චරිත දක්වා බොහෝ නළු නිළියන් සපයා දුන් IMPAS රංගන පාසැලටත් ස්තූතියි.

නාඩගම්කාරයෝ පිටපත රචනා කිරීමේදී ඊට අවශ්‍ය පෝෂණය ලබා දුන් ජේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤාණිස්සර හාමුදුරුවන් වහන්සේට මගේ නමස්කාරපූර්වක ස්තූතිය පුද කරමි.

සංවර්ධන නිළධාරියාගේ සේවය ගැන හා ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයන් ගොඩනැගීමට අදාල බොහෝ දේ ගැන මා දැනුවත් කළ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් චම්පික නිරෝෂ් සොහොයුරාටත් ඔහු විසින් හදුන්වා දුන් ව්‍යවසාය සංවර්ධන නිලධාරිනි නිලිමිණි සොයුරියටත් ස්තූතියි.

ගමේ තරුණ පිරිසකට ජාත්‍යන්තරය ජය ගත හැකි ව්‍යාපාරයක් පිළිබඳ සොයමින් සිටියදී පොල් ලෙලි ව්‍යාපාරය ගැන මට තොරතුරු සැපයූ මහාචාර්ය ගාමිණි රණසිංහටත් ඔහුව මට හදුන්වා දුන් දුලාන් හෙට්ටිආරච්චි සොයුරාටත් පොල් ලෙලි කැපීමේ ව්‍යාපාරයට අදාල බොහෝ දේ ගැන මට විස්තර කියා දුන් ඒ ව්‍යාපාරයේ නිරත අශෝක සොහොයුරාටත් ස්තූතියි…

නාඩගම්කාරයෝ ප්‍ර්‍රේක්ෂකයෙකු ලෙස නාඩගම්කාරයෝ ගමන් කළ යුතු දිශාව ගැන ඉඟි සැපයූ මගෙ අයියා චන්දනටත්

” සරුසාර ” ලාංඡනය ඇද දුන් මල්ලී චතුරටත් තරුණයෙකුගේ ඇසින් බලා නිරන්තරයෙන් යෝජනා ඉදිරිපත් කළ ඉදුවර පුතාටත් ස්තූතියි…

” නාඩගම්කාරයෝ” ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය කලාවේ පෙරලියක් කරන බව එහි මුල් කොටස් පහ පමණක් නරඹා තීරණය කළ හා නාඩගම්කාරයෝ මේ තැනට ගෙන එන්නට අනුපමේය සහයක් ලබා දුන් ස්වර්ණවාහිනියේ නාලිකා ප්‍රධානී රංගන ද සිලවා සොයුරාටත් නාඩගම්කාරයෝ රඟ දැක්වීමට ස්වර්ණවාහිනිය වේදිකාවක් කළ ප්‍රධාන විධායක නිලධාරී සුදේව හෙට්ටිආරච්චි සොයුරා ඇතුළු සවර්ණවාහිනී කාර්යමණ්ඩලයටත් අනේක වාරයක් ස්තුතියි…සිමෙත් සොයුරාණෙනි ඒ ස්තූතිය ඔබටත් අයිතිය.

නාඩගම්කාරයෝ වෙනුවෙන් පත්තර වල පිටු ගණන් වෙන් කළ සදුන් ගමගේ ඇතුළු හිතාදර පත්තර මුතුරන්ටත් , සමාජ මාධ්‍ය හිතවතුන්ටත්, ඡායාරූප ශිල්පීන්ටත් ස්තූතියි . ඔබගේ සහාය අපට දුන්නේ මහත් ශක්තියක්..

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය විවේචනය කළ, එය තහනම් කරන්නට යෝජනා කළ බැන වැදුනු සියළු මිතුරු මිතුරියණි ඔබ අපට ලබා දුන්නේද මිළ කළ නොහැකි ශක්තියක්..

කොවිඩ් උවදුර දැඩි ලෙස ව්‍යාප්ත වූ සමයේ පවා අවශ්‍ය දර්ශන තල ලබා දෙමින් හා විවිධ අයුරින් උදව් උපකාර කළ කිරිඳිවැල හා ඒ අවට ප්‍රදේශවාසීන්ටත් ස්තුති කරමි.

අවසාන වශයෙන්… එතෙක් එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නැරඹූ හා වැඩිම පිරිසක් ආදරය කළ ටෙලි නාට්‍යය බවට නාඩගම්කාරයෝ පත් කළ ප්‍රෙක්ෂක සහෘද ඔබටත් මම හිස නමා ආචාර කරමි…

කොවිඩ් අර්බුදය, ආර්ථික අර්බුදය, ඉන්ධන ගැටළුව හා ඇතැම් රංගන ශිල්පීන් අසනීප වීම ඇතුළු ප්‍රායෝගික ගැටළු රැසක් මැද නාඩගම්කාරයෝ නොනවත්වා ඉදිරියට පවත්වා ගෙන යන්නට පිටපතේ ඇතැම් වෙනස්කම් කරන්නට සිදු වූ අතර ඒ නිසා ඔබේ රස වින්දනයට යම් බාධා සිදු වූයේ නම් ඒ ගැන සමාව ඉල්ලා සිටිමි.

මම – සද්ධාමංගල සූරියබණ්ඩාර