hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 අගෝස්‍තු 31, පෙ.ව. 9:03



ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ සාර්ථකව වීථි සංචාරය කෙරුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දෙස් විදෙස් තානාපතිවරුන් රැසක් ද අවසන් රන්දෝලී පෙරහැර නැරඹීම සඳහා එක්ව සිටි අතර, අලි ඇතුන් ඇතුළු සංස්කෘතික නර්තනාංග රැසකින් පෙරහැර සමන්විත වුණා.

මෙවර පෙරහර මංගල්‍යයේ කරඬුව වැඩම කරවීම කතරගම වාසනා හස්තියා විසින් සිදු කරනු ලැබුවා.

පෙරහර මංගල්‍ය දැක බලා ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනතාව එක්රැස්ව සිටි අතර, ඇසළ පෙරහැර මංගල්‍යයේ දියකැපීමේ චාරිත්‍රය අද පෙරවරුවේ සිදුකෙරුණා.

ඒ, මහවැලි ගඟේ ගැටඹේ තොටේදීයී.

දියේ කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව සිව්මහා දේවාල පෙරහැර මහනුවර ඝණදෙවි කෝවිලට පැමිණ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව අද දහවල් පෙරහැර සඳහා එක්වීමට නියමිතයි.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත්‍රවලට ගරු කරමින් සාර්ථකව පවත්වා අවසන් කළ බව දැක්වෙන පෙරහර සංදේශය සම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාර දීම අද (31) පස්වරුවේ මහනුවර ජනපති මැදුරේදී සිදු කෙරෙයි.

දවල් පෙරහර නිම වීමෙන් පසු දියවඩන නිලමේ ප්‍රමුඛ සතර මහා දේවාල සහ පිටිසර දේවාල බස්නායක නිලමේවරු පෙරහර සංදේශය රැගෙන පෙරහරින් ජනපති මැදුර වෙත ගමන් ගනී.

මහනුවර ඇසළ මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත් වන්නේ පෙරහර සංදේශය ජනාධිපතිවරයාට භාර දීමෙන් පසුවයි. අනතුරුව මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා දළදා මාළිගාව සහ සතර මහා දේවාල නියෝජනය කරමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ කලා ශිල්පීන් අගයමින් ජනපති සම්මාන ප්‍රදානය කිරීම ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

මේ අවස්ථාවට පළාත් ආණ්ඩුකාරවරු, මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වනු ඇත.