hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:31



ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සූදානමකින් තොරව කමිටුවට පැමිණීම පිළිබඳව කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදය

මෙලෙස අප්‍රසාදය පළ කෙරුණේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී විගණකාධිපති වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමසීමේදී ඒ පිළිබඳ පිළිතුරු දීමට පැමිණි නිලධාරීන් අපොහොසත් විය. මේ අනුව කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේ සූදානමකින් තොරව මෙම නිලධාරීන් කාරක සභාවට පැමිණීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බවයි.

විශේෂයෙන්ම රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් විමසීමට මෙම ආයතන කැඳවූ බවත් ඒ පිළිබඳ කිසිදු සූදානමක් නිලධාරීන් සතු නොවන බවත් මෙහිදී කෝපා කමිටුව පෙන්වා දුන්නේය. මේ නිසා කෝපා කමිටුව අතර මග නවතමින් මෙම ආයතන දෙක නැවත ඔක්තෝබර් 20 දින කෝපා කමිටුව හමුවට කැඳවීමට නිර්දේශ කළේය.

කෝපා කමිටුවේ මෙවැනි සිදුවීමක් මෑතකාලීනව සිදු වී නොමැති බවද මෙහිදී කෝපා කමිටුව සඳහන් කළේය.

මෙම නිලධාරීන් ලබාදෙන පිළිතුරු අනුව ක්‍රීඩාව සම්බන්ධයෙන් ජාතික සැලසුමක් නොමැති බවත් ජාතික මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පසු විපරමක් නොමැති බවත් පැහැදිලි වන බව කෝපා කමිටුව පෙන්වා දුන්නේය.

මේ නිසා රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් කණගාටුදායක් තත්ත්වයක් ඇති විය හැකි බවත් කමිටුව පෙන්වා දුන්නා.

එසේම මෙහිදී කමිටුව විසින් පැමිණි නිලධාරීන්ගෙන් ඔලිම්පික් උළෙලේ පවතින තරඟ සංඛ්‍යාව පිළිබඳව විමසූ අතර ඒ සම්බන්ධයෙන් නිවැරදි පිළිතුරක් ලබාදීමට පැමිණ සිටි නිලධාරීන් අපොහොසත් විය.

එසේම ඔලිම්පික්, ලෝක ශූරතාව, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා, ආසියානු ක්‍රීඩා සහ දකුණු ආසියානු ක්‍රීඩා යන තරගාවලි වල ඇති තරග ඉසවු සහ ලංකාව මෙම තරඟාවලි වල සිටින ස්ථානය සහ ක්‍රීඩා කරන තරඟ ඉසව්වන් පිළිබඳවද කමිටුව විමසූ අතර මේ පිළිබඳවද පැමිණ සිටි නිලධාරීන්ට පැහැදිලි පිළිතුරක් ලබාදීමට නොහැකි විය.

එසේම ශ්‍රී ලංකාවේ දැනට ක්‍රීඩා කොපමණ ප්‍රමාණයක් පවතින්නේදැයි කමිටුව විමසා සිටි අතර ලියාපදිංචි ක්‍රීඩා 73ක් පවතින බව පැමිණ සිටි නිලධාරීහු පැවසූහ.

මෙහිදී මෙරට ජාතික වාර්තා සලකා බලා ක්‍රීඩා කොපමණ සංඛ්‍යාවක් පවතින්නේ දැයි කමිටුව විමසූ අතර මේ සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන් පිළිතුරක් ලබා දිය නොහැකි බව පැමිණ සිටි නිලධාරීහු සඳහන් කළහ. තවද ලංකාවේ ක්‍රියාත්මක වන ක්‍රීඩා සහ පසුගිය වසර 5 තුළ එම ක්‍රීඩා වලින් තබා ඇති වාර්තා පිළිබඳවද කමිටුව විමසා සිටි අතර ඒ සඳහාද නිෂ්චිත පිළිතුරක් ලබාදීමට නිලධාරීන් අපොහොසත් විය.

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව එල්ලේ ක්‍රීඩාවේ සිට වොලිබෝල් ක්‍රීඩාව දක්වා මාරුවීම සම්බන්ධයෙන් අනුගමනය කළ නිර්ණායක පිළිබඳ කමිටුව විමසා සිටි අතර මේ සම්බන්ධයෙන්ද පැහැදිලි පිළිතුරක් නිලධාරීන්ගෙන් නොලැබුණි.

තවද විගණකාධිපති වාර්තා අනුව ව්‍යාපෘති ඉටු කිරීමේ ප්‍රමාදය පිළිබඳව කමිටුව විමසා සිටි අතර මේ සම්බන්ධයෙන්ද සෑහීමකට පත්විය හැකි පිළිතුරක් නොලැබුණ බැවින් මාසයක් ඇතුළත මේ පිළිබඳ වාර්තාවක් ලබාදීමට කෝපා කමිටුව නිර්දේශ කළේය.

එසේම අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය අතර සම්බන්ධීකරණයක් නොමැතිවීම නිසා පාසැල් මට්ටමින් බිහිවින ක්‍රීඩකයන් ජාතික මට්ටමට ගෙන ඒම සඳහා පැහැදිලි සැලැස්මක් නොමැති බවද මෙහිදී අනාවරණය විය.

තවද දිස්ත්‍රික් ක්‍රීඩා කමිටු පිහිටුවීමට චක්‍රලේකය යවා ඇති බවට පැවසුවද ඒ ඒ කමිටු පිහිටුවීම පිළිබඳ පසු විපරමක් නොකිරීම පිළිබඳවද මෙහිදී කෝපා කමිටුවේ අප්‍රසාදය පළ විය. එසේම ටොරින්ටන්හි ඉදිකළ හොකී ක්‍රීඩා පිටිය නිසි ප්‍රමිතියෙන් තොර වීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

එසේම අමාත්‍යවරයාට උපදෙස් ලබාදීමට පිහිටුවා ඇති ජාතික ක්‍රීඩා සභාව මගින් ඉටුවන කාර්යයන් පිළිබඳවද නිලධාරීන්ට අවබෝදයක් නොමැති බවද මෙහිදී පැහැදිලි විය.

එසේම අවසාන වශයෙන් ජාත්‍යන්තර මට්ටමෙන් ඇති ක්‍රීඩා තරඟාවලි පිළිබඳ සහ ඒවායේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ස්ථානය පිළිබඳව වාර්තාවක් කමිටුවට ලබා දෙන ලෙස නිර්දේශ කළේය. මෙම වාර්තාවේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර ඇති සම්බන්ධතාවය පෙන්වා දෙන ලෙසද කෝපා කමිටුව නිර්දේශ කළේය.

Example Image