hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 3:22



අරගලය පැවති සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේපළ විනාශයන් වෙනුවෙන් රජයෙන් ගෙවීමට නියමිත වන්දි මුදල රුපියල් මිලියන 1,414 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ඉන් මේ වනවිටත් රුපියල් මිලියන 714 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකු සඳහා ගෙවා අවසන් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

2022 මාර්තු 31 වැනිදා සිට ජුලි 22 වැනිදා දක්වා අරගලය ක්‍රියාත්මක වූ කාලසීමාවේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එවක ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ නිවාස ඇතුළු දේපළ ගිනි තබා විනාශ කෙරුණා.

එලෙස දේපළ හානි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති පාර්ලිමේන්තු කටයුතු අංශය පියවර ගනු ලැබුවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකුට මේ වනවිට හානි පූර්ණ වන්දි ලෙස ලබාදී ඇති මුදල රුපියල් මිලියන 714 ක්.

එමෙන්ම, තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකුටත් හානි පූර්ණ වන්දි මුදල් ගෙවීම සඳහා තීරණය කර තිබෙනවා.

එම මන්ත්‍රීවරුන් 13 දෙනා වෙනුවෙන් තක්සේරු කර ඇති මුදල රුපියල් මිලියන 700 ක්.

මෙම අතිරේක ප්‍රතිපාදන ලබාගැනීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව අවසන් බවයි වාර්තා වන්නේ.

මෙලෙස හානිපූර්ණ වන්දි මුදල් ප්‍රදානය කිරීම සඳහා තවත් රුපියල් මිලියන 200 ක පමණ මුදලක් අවශ්‍ය වනු ඇති බවද පාර්ලිමේන්තු කටයුතු අංශය අවධාරණය කරනවා.

මේ අතර, අරගලය පැවති සමයේදී දේපළ විනාශ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ සිවිල් පුරවැසියන් 73 දනෙකු සඳහාද හානිපූර්ණ වන්දි ලෙස රජය රුපියල් මිලියන 519 ක් ලබාදී තිබෙනවා.

එම පුද්ගලයින්ට වන්දි මුදල් ප්‍රදානය කිරීම ”හානි පූර්ණය සඳහා වන කාර්යාලය” මගින් සිදුකර ඇති බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: