hit counter

2025 නොවැම්‍බර් මස 12 වන බදාදා

2024 පෙබරවාරි 03, ප.ව. 2:53



ඊයේ (02) පස්වරුවේ ඇඹිලිපිටිය – කිරලවැල්කටුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගිය පුවතක් වාර්තා වුණා.

අනතුරුව එම පිරිස විසින් එම තරුණයා කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් ඔහුට තියුණු ආයුධවලින් අමානුෂික ලෙස පහර දී ඇති අතර ඔවුන්ම තරුණයාට පහර දෙමින් එය වීඩියෝගත කර සමාජ මාධ්‍යය වෙත ද මුදාහැර තිබෙනවා.

ඔවුන් එම රූප රාමු ඔහුගේ ඥාතීන් වෙත ද යවා ඇති අතර එම දර්ශන දුටු ඔහුගේ ඥාතීන් ඒ පිළිබඳ ඇඹිලිපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා වෙත දැනුම් දෙනු ලැබුවා.

ඒ, අනුව ක්‍රියාත්මක වූ කුට්ටිගල පොලීසිය හා ඇඹිලිපිටිය මූලස්ථාන පොලීසිය විමර්ශනයක් ආරම්භ කර අදාළ තරුණයා රඳවා සිටි කැලෑබද ප්‍රදේශයට ගොස් ඔහු මුදාවා ගනු ලැබුවා.

එහිදී වැටලීම සිදු කළ අවස්ථාවේ සැකකරුවන් පිරිස එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවත් ඔවුන්ට ඔත්තු සැපයූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය ප්‍රකාශ කළා.

පසුව තුවාලකරු කඩිනමින් රෝහල්ගත කළ අතර මෙලෙස පහරකෑමට ලක් වී තිබුණේ, 24 හැවිරිදි කිරලවැල්කටුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

මීට පෙර ඇති වූ ගැටුමක් සමථයට පත් කිරීමට මෙම තරුණයා මැදිහත් වී තිබූ අතර, ඒ හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම පහරදීම සිදු කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.