hit counter

2025 මැයි මස 12 වන සඳුදා

2024 මාර්තු 15, පෙ.ව. 12:02



රට ගොඩ නැගීමට නම් මෙරට පාර්ලිමේන්තුවේ වයෝවෘද්ධ, මහලු පුද්ගලයන් ඉවත්වී තරුණයන්ට අවස්ථාව දිය යුතු බව ගැටඹේ ශ්‍රී රාජවනාරාමාධිපති, රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය කැප්පිටියා ගොඩ සිරිවිමල නාහිමි පවසනවා.

හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ඊයේ (14) උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේ නාහිමියෝ ඉහත අදහස් පළ කළා. 

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ නාහිමියෝ මෙසේද සඳහන් කළා.

“මේ යන විදියට තව ටික කලකින් පාර්ලිමේන්තුව මහලු මඩමක් බවට නියත වශයෙන් පත්වේවි. වයස අවුරුදු 60 කියන්නේ රජයේ සේවයක හිටියා නම් විශ්‍රාම යන වයස. තව දුරටත් සිත කය වෙහෙසලා වැඩ කරන්න බැරි නිසයි ඒ වයසින් විශ්‍රාම යවන්නේ. ඒත් විශ්‍රාම යා යුතු වයසත් පහු වුණු බොහෝ පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. රජයේ සේවයෙන් විශ්‍රාම ගිහිල්ලා ඊළඟට රැකියාව කරන්න පාර්ලිමේන්තුවට එනවා. මේ අයට වැඩක් කරන්න පුළුවන්ද. තරුණයන්ට තැන දීලා ඉවත් වෙන්න මේ අයට කිසිම උවමනාවක් නෑ. හැරමිටියෙන් හරි පාර්ලිමේන්තුවට යන්න තමයි දඟලන්නේ. මේ කිසිම කෙනෙකුට තමන් හැදෙන්න මිසක රට හදන්න වුවමනාවක් නෑ. රටේ තියෙන සම්පත් ටික කාලා  විකුණලා තමන්ගේ පරම්පරාව සුඛිත මුදිත කරන්න තමයි මේ අයට ඕනේ. රටේ ජනතාව ගැන රට ගැන හිතන්නේ නෑ. සාමාන්‍ය මිනිහෙක් නැති බැරි කමට රුපියල් 50-60 ක් හොරකම් කළොත් ඒ මිනිහා අල්ලලා උසාවි දාලා උපරිම දඬුවම් දෙනවා. නමුත් මහ මිනිහෙක් මිලියන, බිලියන ගණන් හොරකම් කළත් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඉතින් කොහොමද රටක් හැදෙන්නේ?

රොෂාන් රණසිංහ කියන්නේ තනතුරු පස්සේ දුවලා තමා ගැන විතරක් හිතලා අත්තනෝමතිකව වැඩ කරපු මිනිහෙක් නෙවෙයි. වංචාවට දූෂණයට එරෙහි වෙලා විප්ලවයක් කරලා තනතුරු නැති කරගත්ත කෙනෙක්. මේ වගේ තරුණයන්ට රට හදන්න අවස්ථාව දිය යුතුයි. රටට ආදරය කරන තරුණ මන්ත්රීවරු ඉන්නවා. ඒ අයට දැන් අවස්ථාව දිය යුතුයි. වයෝවෘද්ධ දේශපාලඥයන් පාර්ලිමේන්තුවෙන් ඉවත් විය යුතුයි. යන්නෙ නැත්නම් නීති ගෙනල්ලා හරි ඉවත් කරන්න ඕනේ. ඒ අයට විශ්රාම සුවයෙන් ගෙවල් වලට වෙලා ඉන්න පුළුවන්. උනුත් හොරු මුණුත් හොරු කියලා ඉන්න අය එලවලා ආයෙ ඉන්නෙත් හොරු කණ්ඩායමක්ම තමයි. මේක තමයි මේ රටේ අවාසනාව. ඔබතුමන්ලා වගේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු හරි වැරැද්ද බය නැතුව කතා කරන අය ඉවත් කරලා වංචාවට දූෂණයට ආවඩන අය ඒ තැන් වලට ගේනවා. ඇත්ත කතා කරලා ගෙදර ගියත් නම්බුයි. මේ රටේ ජනතාව ඔබතුමන් වැනි තරුණ දේශපාලනඥයන් කෙරේ විශ්වාසය තබා තිබෙනවා. දැන් ලෝකය  වෙනස් වෙලා දියුණු රටවල  වයෝවෘද්ධ දේශපාලඥයෝ ඉවත් වෙලා  තරුණයන්ට තැන දෙනවා. ඇතැම් රටවල පාලකයෝ තරුණ වයසේ වැඩ කරන්න පුළුවන් අය බව අපි දකිනවා. ඔබතුමාගේ ඉදිරි දේශපාලන ගමනට අපි සුබ පතනවා.                                                               

මෙහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ කියා සිටියේ තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණය පසුපස විදෙස් රටවල  බලවේග මෙන්ම මෙරට අදෘශ්යමාන බලවේග රැසක් තිබූ බවය.

“මම ඉදිරිපත් වුණේ රට ගැන හිතලා. මට හොරකම් කරන්න අවශ්‍ය නෑ. කාටවත් හොරකම් කරන්න දෙන්නෙත් නෑ. මේ රටේ තියෙන දූෂිතම ආයතනයක් වන ක්‍රිකට් ආයතනයට එරෙහිව කටයුතු කළ නිසයි ඇමතිකම් අත් අරින්න වුණේ. නමුත් මම පසු බහින්නේ නෑ. මේ රටට ආදරේ කරන සන්ධානයක් සමඟ මම ඉදිරියට එනවා. මට බලය ලැබුණොත් ඉතා කෙටි කාලයකින් මේ රටේ වංචා දූෂණ සියල්ල නවත්වනවා. ඒ වගේම වංචා දූෂණ  කරපු රට විනාශ කරපු අයට එරෙහිව අනිවාර්යෙන්ම නීතිමය පියවර ගන්නවා. මේ විනාශ වූ රට ගොඩගන්න නම් ජනතාවට ඒ වෙනුවෙන් නිවැරදි තීරණ  ගන්න සිදුවෙනවා.”