hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2022 ජූනි 23, පෙ.ව. 2:00



මෙරට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 කට වඩා වැඩි ප්‍රමාණයක් හිමි Hamilton Reserve Bank Ltd විසින් අමෙරිකාවේ නිව් යෝර්ක් ෆෙඩරල් අධිකරණයේ දී ශ්‍රි ලංකාවට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඒ තමන්ට ගෙවීමට නියමිත මුදල් සහ පොලී මුදල් ගෙවීමට ශ්‍රී ලංකාවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.

ශ‍්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීම, ශ‍්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරීන් විසින් සැලසුම් සහගතව සිදු කරනු ලැබූවක් බවත්, ණය ප‍්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡුාවලින් දේශීය බැංකු තබා ඇති බැඳුම්කර පැහැර හැර ඇති බවත් ඇමෙරිකාවේ ‘හැමිල්ටන් සංචිත බැංකුව’ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මඟට යොමු වෙමින් පවසා තිබෙනවා.

ශ‍්‍රී ලංකාවට එරෙහිව, නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට ද හැමිල්ටන් සංචිත බැංකුව ඒ අනුව කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්ත කළා.

ශ්‍රී ලංකාවේ ජූලි මස 25 කල් ඉකුත්වන සියයට  5.875 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 කට වඩා වැඩි මුදලක් හිමි මෙම ‘හැමිල්ටන් රිසර්ව්ස්’ බැංකුවට යැයි පැවැසෙනවා.

හැමිල්ටන් සංචිත බැංකුව නඩුව පවරා ඇත්තේ හැමිල්ටන් සංචිත බැංකුව ශ‍්‍රී ලංකාවට ලබා දී ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල වටිනාකම සහ ගෙවීමට ඇති පොලිය ජූලි 25 වැනිදා වන විට සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දෙකක් සඳහා පොලී ගෙවීමට දී තිබූ දින 30 සහන කාලය ඉකුත් මැයි මාසයේ අවසන් වීමත් සමඟ ශ‍්‍රී ලංකාව නිල වශයෙන් ණය පැහැර හැරි රටක් බවට පත් වුණා.

ශ‍්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ගෙවීම පැහැර හැරි ප‍්‍රථම අවස්ථාව මෙය යැයි ද සඳහන්.

ශාන්ත කිට්ස් සහ නෙවිස් හි පිහිටි හැමිල්ටන් සංචිත බැංකුව ගොනු කළ නඩුවේ පැමිණිල්ලේ සඳහන් වන්නේ ශ‍්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීමට හේතුව රාජපක්ෂ පවුල ඇතුළුව ශ‍්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය බවයි.

ඔවුන් ගොනුකළ නඩුවේ සඳහන් තවත් වැදගත් කාරණයක් වන්නේ,

-උපුටා ගැනීම-

රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව අවුරුදු ගණනාවක් දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. හිටපු ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් සහ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් හෙළිකර ඇති ආකාරය අනුව රාජපක්ෂ පවුල ඩොලර් බිලියන ගණනක ධනයක් උපයා ඇති අතර ඉන් කොටසක් ලිහිල් මූල්‍ය නීති ඇති ඩුබායි, සීෂෙල්ස්, සෙන්ටි මාටින් දූපත් වල සඟවා තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය ලේඛනවලට අනුව බැසිල් රාජපක්ෂ නැමැති ඇමරිකානු ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියා රජයේ තනතුරු දැරීමට පෙර සිටම හඳුන්වා දී ඇත්තේ මිස්ටර් ටෙන් ප්‍රසන්ට් යන අනුවර්ථ නාමයෙන්. ඊට හේතුව ඔහු සෑම ව්‍යාපෘතියකින්ම සියයට දහයක කොමිස් මුදලක් ඉල්ලා සිටීමත් පුද්ගලයින් මුදලට ගැනීමේ පුරුද්දක්ද තිබීමත් නිසයි.

-උපුටා ගැනීම අවසන්-

ශ්‍රී ලංකාවට මෙම නඩුකරයට මුහුණ දීමෙන් වැලකී සිටීමට කිසිදු මුක්තියක් නොමැති බව එම බැංකුව නඩුව ගොනුකරමින් සඳහන් කර තිබෙනවා.

ජූලි මස 25 වනදා ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කර කල් පිරීමට නියමිතයි.

ණය ප‍්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා වලින් දේශීය බැංකු සහ උනන්දුවක් දක්වන පාර්ශව තබා ඇති බැඳුම්කර බැහැර කර ඇති බවට හැමිල්ටන් සංචිත බැංකුව චෝදනා කරනවා.

2012 වසරේ ඇමරිකාවේ HSBC බැංකුව සමඟ එවකට මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇති කරගත් ගිවිසුමට අනුව එම ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කර ලබාගෙන තිබුණා.

ඉන් ඩොලර් මිලියන 250.19ක මුදලක් පුද්ගලික ආයෝජකයෙකු ලෙස මිලදී ගෙන තිබුණේ ඇමරිකාවේ ‘හැමිල්ටන් රිසර්ව්ස්’ බැංකුව නැමැති සීමාසහිත සමාගමක්.

ඒ කල්පිරෙන අවස්ථාවේ සියයට 5.8ක පොලියක් ගෙවන බවට එකඟතාව මතයි. ජුලි මස 25 වනදා මෙම ආයෝජනය කල් පිරෙන අවස්ථාව වනවිට මෙම ආයෝජනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 7.349ක පොලියක් ගෙවිය යුතුයි.

1948 වසරේ නිදහසින් පසු ඉකුත් මැයි මස 30 වෙනිදා ශ්‍රී ලංකාව පළමු වරට තමන් ලබා ගත් විදෙස් ණය සඳහා වන ගෙවීම් පැහැර හරිනු ලැබුවා.

මේ අතර මෙරට ජාත්‍යන්තර බැඳුම්කර හිමි ආයතන 30 කට වැඩි ප්‍රමාණයක්  ශ්‍රී ලංකාව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව White & Case LLC නීති උපදේශකයින් විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකාවේ බලධාරීන් සහ අනෙකුත් ණය දෙන්නන් සමඟ සාකච්ඡා කිරීමට ණයහිමි කණ්ඩායම සුදානම් බවත්, රට “අර්ථවත් ප්‍රතිසංස්කරණ සහ මූල්‍ය ගැලපුම් පැකේජයක්” ක්‍රියාත්මක කළ යුතු බව ඔවුන් පවසා සිටිනවා.