hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ජූලි 12, ප.ව. 1:34



මේ වන විට ආරම්භ වී ඇති ඓතිහාසික කතරගම පෙරහැරට සහභාගිවී කඳ සුරිඳුන් වන්දනා මාන කිරීම සඳහා මෙන්ම භාර හාර ඔප්පු කිරීමට උතුරු නැගෙනහිර ඇතුළු පළාත් රැසකින් සැතපුම් සිය ගණනක් ගෙවා කුමන හා යාල අභය භූමි මැදින් කතරගම පුණ්‍ය භූමිය වෙත පා ගමනින් පැමිණෙන ජනතාව සඳහා යාල වනය මැද ශ්‍රී දළදා මාලිගාව මගින් පවත්වනු ලබන දිවා රාත්‍රී දන්සැල පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන්ට මහත් අස්වැසිල්ලක් බවට පත්ව තිබෙනවා. 

හින්දු භක්තිකයන් විසින් වාර්ෂිකව සිදු කරනු ලබන කතරගම දෙවියන් පිදීමේ පාද යාත්රාවට මේ වන විටද 30 දහසකට අධික පිරිසක් සහභාගිව ඇති අතර මෙවර කතරගම වන්දනාව සඳහා 50,000 ක් පමණ පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරනවා.

මෙම ඇතැම් භක්තිකයෝ  උතුරු නැගෙනහිර සිටම පාගමනින් සැතපුම් 200ක් පමණ ගෙවා පාදය යාත්‍රාවට සම්බන්ධ වන අතර බහුතර  ජනතාව ඓතිහාසික ඔකද දේවාලය අසලින් කුමන වනෝද්‍යානයට ඇතුල්වී කුඹුක්කන් ඔය තරණය කොට පෙත්තන හරහා යාල වනෝද්‍යානයේ අංක 02 ප්රදේශයට පැමිණ මැණික් ගඟෙන් එතෙරව යාල අංක 01 ප්රදේශයට ඇතුල්ව කටගමුව ඔස්සේ කතරගම පුණ්‍ය භූමියට පැමිනෙනවා. 

මෙම පාගමන සඳහා වයසක පුද්ගලයන් මෙන්ම ඉතා කුඩා දරුවන්ද සම්බන්ධ වීම විශේෂයක් වන අතර බොහෝ විට රෝගී පුද්ගලයන්ද පා ගමනින්ම භාර ඔප්පු කිරීම සඳහා පැමිණෙන ආකාරය දක්නට ලැබෙනවා.

පාදයාත්‍රාවට වෛද්‍යවරු, ඉංජිනේරුවරු, විදුහල්පතිවරු, ගුරුවරු මෙන්ම වෙනත් උසස් වෘත්තීන්හි නියැලෙන පුද්ගලයන්ද අඛණ්ඩවම සම්බන්ධ වන අතර පාදයාත්‍රාවට සහභාගී වීම සඳහා විදේශයන්හි වාසය කරන හින්දු භක්තිකයෝ පවා සහභාගි වීමද විශේෂත්වයක් වෙනවා.

දින ගණන් පේවී මෙම පාද යාත්‍රාව සඳහා එක්වන ජනතාව මහ වනය මධ්‍යයේ ආහාර පිසගනිමින්, තැන් තැන්වල නැවතී විඩා නිවා ගනිමින් කතරගම දෙවියන් හට ස්තෝත්‍ර ගායනා කරමින් දින 15 ක් පමණ පැමිණෙන අතර වන සතුන් ගහන මෙම ප්‍රදේශයේ ඔවුනට කිසිදු අතුරු අන්තරාවක් නොවීමද තවත් විශේෂ සිදුවීමකි.                                                       

මෙම පාදයාත්‍රාවේ පැමිණෙන ජනතාව සඳහා ආහාර පාන ලබාදීම ඇතුළු පොදු පහසුකම් සැලසීම උදෙසා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සංවිධානයෙන් යුක්තව යාල වන මධ්‍යයේ කටුපිල ආරනම් ප්‍රදේශයේ දින 15 ක මහා දන්සැලක් පැවැත්වෙන අතර මෙම දන්සැලෙන් උදේ, දිවා හා රාත්‍රී ආහාරයද ලබා දෙනු ලැබෙනවා.

දහස් ගණනින් පැමිණෙන ජනතාවට ඉතාමත් සෞඛ්යමත් ආකාරයෙන් මෙම ආහාර ලබාදීම සිදුවෙන අතර ඒ සඳහා දළදා මාලිගා කාර්ය මණ්ඩලයට අමතරව යුද හමුදාව මෙන්ම තවත් පිරිස් නිරන්තරයෙන් සහයෝගය දක්වනවා. 

ඊට අමතරව මෙම දන්සල ආශ්‍රිතව පාදයාත්‍රාවේ පැමිණෙන ජනතාවට වෛද්ය කඳවුරක් පැවැත්වීමද සිදුවන අතර ඔවුන්ට අවශ්‍ය ඖෂධ, පානීය ජලය  මෙන්ම වෙනත් සනීපාරක්ෂක අවශ්යතා සපුරා ගැනීම සඳහා පහසුකම් සලසා තිබෙනවා.                                                                                                          

පාදයාත්‍රාවේ පැමිණෙන බැතිමතුන් දළදා මාලිගාවේ මෙම දන්සල හා අනෙකුත් පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රශංසා මුඛයෙන් තම අදහස් පළ කරන අතර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ මෙවර දන්සල පැවැත්වෙන්නේ අඛන්ඩව 11 වන වරට බවත් තමා මෙම දන්සල පැවැත්වෙන දින 15 හිම මෙම ස්ථානයේම නැවතී සංවිධාන කටයුතු සිදුකරන බවත්ය.

Example Image