2024 අගෝස්‍තු 08, පෙ.ව. 12:06
විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට ජනපතිවරණය සමයේ නොයෙක් පොරොන්දු දුන් අපේක්ෂකයින් බලයට පැමිණි පසු එම පොරොන්දුව අමතක කළේ යැයි මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් පවසනවා.
මේ වනවිට ද ජනපතිවරණයට ඉදිරිපත් වීම සඳහා 18 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙන බවද උන්වහන්සේ කියා සිටියා.
මහනාහිමියන් එසේ පැවසුවේය දූෂණය නවතමු මව්බිම ගොඩ නගමු සන්ධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සහ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා ඊයේ (07) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදී ය.
විධායක ජනපති ධූරය අහෝසි කිරීම ඇතුළු වැදගත් සංශෝධන රැසක් ඇතුළත් දූෂණයෙන් තොර රටක් බිහි කිරීම සඳහා වන නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා විසින් අනුනාහිමියන්ට මෙහි දී පිළිගන්වනු ලැබුවා.
එහි දී මෙසේද මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ මෙසේද පැවසූවා.
ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් අතරිනුත් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම ගැන එක එක කතා එළියට හයි. ඒත් ඒවා ඒ විදිහටම ක්‍රියාත්මක කරයිද කියන සැකය කාටත් තිබෙනවා. හැමෝම බලන්නේ තමන් ගේ බලය වැඩිකර ගන්න මිස අඩුකර ගැනීමට නොවෙයි. ඒ නිසා තමයි බලය ඉල්ලන වෙලාවේ කියන දේවල් බලට ලබා ගත්තට පස්සේ අමතක වුණා වගේ වැඩ කරන්නේ.
මෙහි දී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා මෙසේ පැවසුවේය. හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සකස් කර තිබෙනවා. විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු රටට යහපත් කරුණු ගණනාවක් එහි අන්තර්ගතයි. මම රට වෙනුවෙන් දූෂණයට වංචාවට විරුද්ධව තනතුරු වරප්‍රසාද අත් හරිමින් රටට ආදර්ශයක් දුන්නා. මේ විධායක ජනපති ධූරය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයේ තමයි මාත් ඉන්නේ. මේ පක්ෂ මාරු ක්‍රමය අහෝසි වෙන්න ඕන. ජනතාව තමන් ගේ නියෝජිතයා විදිහට පාර්ලිමේන්තුවට යවන පුද්ගලයා පක්ෂය මාරු කළාම සැබෑ ජනතා කැමැත්ත පාර්ලිමේන්තුවේ නිරූපනය වෙන්නේ නැහැ.
හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. බලය ලබා ගත්තට පස්සේ ජනාධිපතිවරු විධායක ජනපති බලතල අවභාවිත කරනවා. ඒකට උදාහරණ ඕනෑ තරම් තිබෙනවා. ව්‍යවස්ථාව සංශෝධනය කරනවා කියමින් බලය ගන්නා ජනාධිපතිවරු බලයට ආවට පස්සේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් කරනවා. ඒකටම අවුරුදු 04 ක් විතර ගත වෙනවා. ඊට පස්සේ කාලයක් නැහැ කියලා වැඩේ අත්හරිනවා. ඒ වෙනුවට අපි මේ වතාවේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සකස් කරලම වැඩේ පටන් ගන්නවා. මෙම මස 11 දින මේක ජනගත කරන්න සැළසුම් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා හා සරත් එන් ද සිල්වා මහතා අස්ගිරි විහාරය වෙත ගොස් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අනුනායක පූජ්‍ය වේඩරුවේ ශ්‍රී උපාලි හා ලේඛකාධිකාරි පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමිවරුනටද දූෂණයෙන් තොර රටක් බිහි කිරීම සඳහා වන නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත භාර දුන් අතර මෙහිදී අදහස් පළ කළ මැදගම ධම්මානන්ද නාහිමියෝ කියාසිටියේ රටට ගැලපෙන ව්‍යවස්ථා සංශෝධනයක් අත්‍යවශ්‍ය කාරණයක් වුවද විධායක ජනාධිපති ධුරයට පත්වන කිසිදු අයෙක් එම ධූරය අහෝසි කිරීමට කැමැත්තක් නොදක්වන බවය.
මෙම නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත 13 වන ව්‍යවස්ථාවෙන් ලබාදීමට නියමිත පෙඩරල් පාලනයක් පිළිබඳ ආවඩන්නක් නොවේ නම් ඊට සහාය දීමට මහා සංඝරත්නයට හැකියාව පවතින බවද කෙසේ වුවත් මහජන චන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරු තම පුද්ගලික වාසි තකා පක්ෂ මාරු කිරීමේ ක්‍රමය සහමුලින්ම අහෝසි කළ යුතු බවද මේ වන විට අවුල් ජාලාවක්ව පවතින අනුපාත ඡන්ද ක්‍රමය අහෝසි කොට ආසනයකට වගකීම මන්ත්‍රීවරයෙක් බිහිවන දේවල ඡන්ද ක්‍රමය නැවත ගෙන ආ යුතු බවද උන්වහන්සේ පැවසූවා.
2025 මැයි 17, පෙ.ව. 12:29
2025 මැයි 17, පෙ.ව. 12:28
2025 මැයි 17, පෙ.ව. 12:28
2025 මැයි 17, පෙ.ව. 12:19
2025 මැයි 17, පෙ.ව. 12:06