hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2026 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:27



ඉදිරිපත් කර ඇති නව විසර්ජන පනත් කෙටුම්පතට අනුව ජනාධිපති කාර්යාලය සඳහා රුපියල් බිලියන 11.2 ක දැවැන්ත මුදලක් වෙන් කර ඇති බවත්, ඒ අනුව දිනකට දරන වියදම රුපියල් ලක්ෂ 307 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් හිටපු පළාත් ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

රජයේ නව අයවැය ඇස්තමේන්තු සංඛ්‍යාලේඛන විග්‍රහ කරමින් හිටපු ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේ, රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 9,920 ක් ලෙස ගණන් බලා ඇති බවයි. 

ඉන් රුපියල් බිලියන 4,820 ක මුදලක් හෙවත් සමස්ත රාජ්‍ය වියදමෙන් සියයට 49 ක්ම වැය වන්නේ ලබාගෙන ඇති ණය සහ ඊට අදාළ පොලී වාරික පියවීම වෙනුවෙන් පමණක් බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම, රටේ සමස්ත මුළු වියදමින් සියයට 26.6 ක ප්‍රමාණයක් සෘජුවම ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති බවද ඔහු අනාවරණය කළේය. 

එම වියදම් මෙසේය.

මුදල් අමාත්‍යාංශයට – රුපියල් බිලියන 858ක්

ආරක්ෂක අමාත්‍යාංශයට – රුපියල් බිලියන 458ක්

ඩිජිටල් අමාත්‍යාංශයට – රුපියල් බිලියන 17ක්

ජනාධිපති කාර්යාලයට – රුපියල් බිලියන 11.2ක්

ජනාධිපති කාර්යාලයට වෙන් කර ඇති රුපියල් බිලියන 11.2 ක මුදල වසරේ දින 365 න් බෙදූ විට දිනක වියදම රුපියල් ලක්ෂ 307 ක් වන බව පෙන්වා දුන් ඒ මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විපක්ෂයේ සිටියදී පසුගිය පාලකයන්ගේ බිලියන 2.6 ක් වූ කාර්යාල වියදම් පැය සහ මිනිත්තු ගණනින් ගණනය කරමින් වේදිකා දෙවනත් කර බලය ලබාගත් අයුරු සිහිපත් කළේය. 

එදා එම වියදම් මුළුමනින්ම ප්‍රෝඩාවක් සහ නාස්තියක් ලෙස හෙළාදුටු නායකයන්, අද බලයට පත්වී එම වියදම මෙන් පස් හය ගුණයකින් වැඩි කරගෙන ඇති බවට ඔහු දැඩි චෝදනාවක් එල්ල කළේය.

තවද, රජයේ මෙවැනි අත්තනෝමතික ක්‍රියා සහ වියදම් විවේචනය කරන සියලු පාර්ශ්වයන් ‘සංවිධානාත්මක අපරාධකරුවන්’ සහ ‘ත්‍රස්තවාදීන්’ ලෙස හංවඩු ගැසීමට පාලනාධිකාරිය උත්සාහ දරන බවටද රජිත කීර්ති තෙන්නකෝන් මහතා චෝදනා කළේය. 

රාජ්‍ය නොවන සංවිධාන මර්දනය කරමින් සහ ජනතාව අතරට සත්‍ය තොරතුරු ගලායෑම අවහිර කරමින් මර්දනකාරී නීති ගෙන ඒමට රජය සැරසෙන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම උදෙසා මෙවැනි පාලනයන් පරාජය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: