hit counter

2024 නොවැම්‍බර් මස 19 වන අඟහරුවාදා

2024 නොවැම්‍බර් 19, පෙ.ව. 12:02



අම්මෙකුගේ දුක වචනයකින් කියන්නේ කොහොමද..? මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන අනුවේදනීය කතාවක්.. 

හීන දහසක් හිතේ පොදි බැඳගෙන දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මහන්සි වෙන සුවහසක් අම්මාවරුන්ගේ හීන වගේම ඇගේ හිතෙත් හීන ගොඩක් තියෙන්න ඇති.. ඒත් අද…? මේ අනුවේදනීය කතාව ඇසුණේ වෙන්නපුවෙන්..

“මගෙ රත්තරන් දුවේ… අපි කොච්චර අමාරුවෙන්ද ඔයාව ලොකු මහත් කරලා ඉගැන්නුවේ… වැරැද්දක් කළා නම් ගුරුවරුන්ට පොඩි දඬුවමක් දෙන්න තිබුණනෙ දෙයියනේ… මගේ සුදු රෝස මල පොඩිපට්ටම් කරලා මේ විදිහට ගෙදර එවන්නද ඉස්කෝලෙ යැව්වේ”

ගුරුවරියන් දෙදෙනකු විසින් පහරදී රෝහල්ගත කිරීමෙන් පසු මියගිය රමීෂා දිනිති දියණියගේ මව වන ශාලිකා රුවන්දිගේ නිසල දේහය අසල හඬා වැළපෙමින් මෙසේ කීවාය.

එසේ සිතේ නැගුණ දුක් කන්දරාව දරාගත නොහැකිව දෙකම්මුල්වලින් රූරා හැලෙන කඳුළු බින්දු පිසදමමින් එකවරම නිවසේ තැන්පත් කර ඇති නිසල දේහයේ දෙපා සිපගනිමින් ඇය හඬා වැළපුණාය. ඇයගේ විලාපයට අසල සිටි අයගේද දෑස් කඳුළින් තෙත් වුණේ නිරායාසයෙනි.

මගේ රෝස මල පොඩිපට්ටම් කරලා ගෙදර එවන්නද ඉස්කෝලෙ යැව්වේ…
මඳක් නිහඬව සිටි ඇය ආයාසයෙන් කටහඬ අවදි කළාය. “ඇයි දෙයියනේ… මේ වගේ දඬුවම් අද පොලිසියේ මහත්වරුත් දෙන්නෑ. මාස තුනක් මොන දුකක්ද මගෙ දුව වින්ඳේ…”

මියගිය දියණිය පදිංචිව සිටි වෙන්නප්පුව එඩ්වඩ් ජෝශප් පෙරේරා මාවතේ සියල්ලෝම ඇයගේ වියෝවෙන් කම්පාවට පත්ව සිටිති.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ රමීෂා දිනිති තමෙල් නමැති 16 හැවිරිදි සිසුවියකි. ඇය වෙන්නප්පුව මාටින්ද ෆොරස් මහා විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියාය.

මියගිය රමීෂා දිනිති දියණිය දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. අවුරුදු දොළහක දියණියක්, අවුරුදු අටක සහ අවුරුදු හතක පුතුන් දෙදෙනෙක් පවුලේ සෙසු අය වේ. වයස අවුරුදු 43 ක් වූ පියා පෙදරේරු රැකියාවේ නිරත වේ. මව ගෘහනියකි.

ඉකුත් අගොස්තු 09 දා 10 වසරේ ඉගෙනුම ලබමින් සිටි මියගිය සිසුවිය ඇතුලු සිසුවියන් තිදෙනකු පාසල ආරම්භ වීමෙන් පසුව පංති කාමරය තුළ නොසිටි බව පවසමින් පංතිභාර ගුරුවරිය විසින් සිසුවියන් තිදෙනාට අතින් පහර දී ඇති බව සිදුකළ පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

එමෙන්ම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරියද සිද්ධිය විමසා මියගිය සිසුවියට අතින් මුහුණට පහරක් එල්ලකර ඇය පාසලේ මිදුලේ දැඩි අව් රශ්මිය ඇති ස්ථානයක දණ ගස්සවා ඇති අතර එම අවස්ථාවේ ක්ලාන්ත වී ඇද වැටී ඇති ඇයව, පසුව සැකකාර ගුරුවරියන් දෙදෙනා මියගිය සිසුවිය පංති කාමරය තුළට ගෙන ගොස් බංකුවක තබා දෙමාපියන්ට දුරකථන පණිවිඩයක් දී පාසලට ගෙන්වා ගැනීමෙන් පසු දෙමාපියන් ඇයව මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවද විමර්ශනවලින් හෙළිවී ඇත.

මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවියගේ රෝගී තත්ත්වය අසාධ්‍ය වූ බැවින් ඇයව කොළඔ ජාතික රෝහලට මාරුකර යවා එහි දැඩි සත්කාර ඒකකයට යොමුකර ඇත. මාස දෙකක පමණ කාලයක් එහි ප්‍රතිකාර ලබා එම රෝහලේ වාට්ටුවකට යොමුකර දින කීපයකට පසු මාරවිල රෝහලට එවීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම මහ රෝහලට මාරුකර යවා ඇත. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය පසුගිය 13දා අලුයම මියගොස් ඇති බව පොලිසිය කියයි.

මියගිය සිසුවියට පහරදුන් බව කියන සැකකාර ගුරුවරියන් දෙදෙනා පසුගිය අගෝස්තු මස 18 දා වෙන්නප්පුව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතව පසුව ඇපමත මුදාහැර තිබේ.

සිසුවියගේ මරණයෙන් පසු නැවතත් වෙන්නප්පුව පොලිසිය මගින් සැකකාර ගුරුවරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මාරවිල වැඩබලන මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

මස්තිෂ්කයේ නහරයක් පිපිරීම නිසා ඇතිවූ අධික ලේ වහනය වීමෙන් සිදුවූ සංකුලතාවයක් හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බව මරණයට පත් සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය රාගම මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා විසින් සිදුකළ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ය.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධව පොලිස් පැමිණිල්ලේ ගුරුවරියන් දෙදෙනා විසින් සදහන් කර ඇත්තේ කාලපරිච්ඡේදයේ විනාඩි විස්සක පමණ කාලයක් මෙම සිසුවියන් තිදෙනා නොසිටීම සම්බන්ධව සිදු කළ පරස්පර විරෝධී ප්‍රකාශ නිසා සිසුවියගේ පාදයට පහරක් එල්ල කර අව්වේ දණ ගසා තැබීමට කටයුතු කළ බවයි.

වෙන්නප්පුව මූලස්ථාන ප්‍ර.පො.ප. තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. සිරිවර්ධන මහතා ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදු කරයි.

මියගිය සිසුවියගේ මව වන ශාලිකා රුවන්දි මාධ්‍යයට අදහස් දක්වමින්,

“අගෝස්තු 9 වැනිදා දුවට ඔලුව කැක්කුමයි කියල ඉස්කෝලෙන් එන්න කියල පණිවිඩයක් එව්වා. මම ගියා. මම යද්දි ළමය සිහිය නැතුව හිටියා. මං ඇහුවා ඇයි ඒ කියල… ටීචර් කිව්වා පීරියඩ් එකක් කට් කරපු නිසා ළමයට පාරක් ගැහැව්වා කිව්වා. ඒ වුණාට ඊට පස්සේ සංගීත මිසුත් එයාට ගහල තියෙනවා. එයාව අව්වේ දණ ගස්සල තියෙනවා. පස්සේ සිහි නැතිව ගියාට පස්සේ ළමයි තුන් දෙනෙක් එකතු වෙලා ළමයව උස්සලා අරගෙන ඩෙස්එකට දානකොට ළමයගෙ ඔලුව වැදිලා තියෙනවා. ඊට පස්සේ මම ළමයගේ තාත්තට කතා කරලා ඉක්මනට ත්‍රීවිල් එකක් අරන් එන්න කිව්වා.

ආවාට පස්සෙ ළමයව මාරවිල ඉස්පිරිතාලෙට අරන් ගියා. පසුව එතැනින් කොළඹට මාරුකළා. දුව මාස එකහමාරක් විතර අයි.සී.යූ. එකේ හිටියා. පස්සේ සමාන්‍ය වාට්ටුවකට දැම්මා. එහිත් දින ගණනාවක් හිටියා. ටිකක් හොඳ වෙලා මාරවිල ඉස්පිරිතාලෙට එව්වා. ඊට පස්සේ පරීක්ෂණ කරලා ඉවරවෙලා ආයෙ සති දෙකක් විතර හිටියා. නැවත ව්‍යායාම කරන්න කියලා රාගම ඉස්පිරිතාලෙට ඇරියා. එහේ සතියක් විතර හිටියා. ඊට පස්සෙ දවස් දෙකක් විතර එක්සයිස් කරද්දි අමාරුවෙලා අයිසීයූ එකට දැම්මා. අයිසීයූ එකේ දවස් දෙකක් විතර හිටියට පස්සේ මගේ දුව නැති වුණා. මම කියන්නේ මේ සිදුවීමට සාධාරණයක් ලබා දෙන්න කියලයි…”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: