hit counter

2025 මාර්තු මස 05 වන බදාදා

2025 මාර්තු 05, පෙ.ව. 12:31



ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ දේහය පිළිබදව අවසන් කටයුතු 03 පස්වරුවේ සිදු කෙරුණා.

ඒ කඩුවෙල – කොතලාවල ගැමුණු පුර පිහිටි කනත්තේ දී.

මෙම අවස්ථාවට කලා තරු රැසක් ද එක් ව සිටි අතර ඇය 1964 පෙබරවාරි මස 21 වැනි දින හම්බන්තොට දී උපත ලැබුවා.

1986 දී පුංචි තිරයට පිවිසෙන සුසන්තා චන්ද්‍රමාලි මෙරට වේදිකා නාට්‍යය මෙන් ම ටෙලි නාට්‍යයවලින් ද රසිකයින්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ තැනැත්තියක්.

මතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේ ගෙදර ආදී ටෙලි නාට්‍ය රැසකට ඇය රංගනයෙන් දායක වී ඇති අතර සරෝජා, රන්කෙවිට, ප්‍රවේගය ආදී චිත්‍රපට රැසකටද රංගනයෙන් දායක වී තිබෙනවා.

එක්දරු මවක්වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය යොවුන් රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකාගේ මවයි.

මේ පහළින් දිවෙන හමුවීම රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකා ඇගේ මව ජීවත්ව සිටියදී ඇය පිළිබඳ පළකළ අදහසුයි..

මම ආසම සුසන්තිගේ දුව කියනවට..

දශක තුනකට එපිට පුංචි තිරයේ ටෙලි නිර්මාණ කලාවට සුභාවිතභාවයෙන් උරදුන් රංගන ශිල්පීන් අතර ස්වකීය නාමය වාණිජකරණය වීමට ඉඩ නොදී තබාගත් අතළොස්සක් වූ ශිල්පිනියන් අතර සුසන්තා චන්ද්‍රමාලි යන නාමය ඇත්තේ සුසිල්වත් වූ මතකයක් ගොඩනැගූ චරිත අතරය. චාරුලතා යන ටෙලි නිමැයුමෙන් කලා දියඹ තරණය කළ ඇය අද වන විට රංගනයෙන් ඈත්වී සිටින අතර මේ වින විට රෝගී තත්ත්වයෙන් සුවිශේෂී ප්‍රතිකාර ලබමින් සිටී.

හම්බන්තොට මුල්කිරිකල දුෂ්කර ග්‍රාමයේ උපන් ඇය සිය කලා දිවියෙන් ඈත් වන කල්හි සිය අවිහිංසක පෙනුම ඒ ලෙසටම තිළිණ කොට සිය දියණිය වූ තිසුරි යුවනිකා ලියනගේ කලා ලොවට යොමු කර තිබේ. ඇය මේ වන විට කෙටි කාලයක් සඳහා විදේශ රටක පදිංචි වී සිටින අතර ශ්‍රී ලාංකික කලාව වෙනුවෙන් ඉදිරියේ ඇයගේ රංගන දායකත්වය නැවතත් ලබාදීමට අපේක්ෂිතව සිටී.

අද ළතෙත් ගුණැති අම්මා පිළිබඳ මේ කතාබහ තිසුරි දියණිය සමගයි. මවගේ ආලෝකයෙන් කලාවේ එළිය ලැබූ ඇය ඇගේ ආදරණීයත්වය කියා පෑවේ මෙලෙසිනි.

(පසුගිය දිනක තිසුරි යුවනිකා සති අග පුවත්පතක් සමග එකතු වූ අවස්ථාවක්)

අම්මගේ හැකියාවට මට කිට්ටු වෙන්නවත් බෑ

සුසන්තා චන්ද්‍රමාලි කියන රංගන ශිල්පිනියට කිසිදවසක මට කිට්ටු වෙන්නවත් බැහැ. ඇය ඒ තරමටම ඇගේ අනන්‍යතාව ගොඩ නගාගෙන ක්ෂේත්‍රයේ සිටි කෙනෙක්. ඒ වගේම අම්මා රංගනයට ඇවිත් තියෙන්නෙ තනියම පාර හදාගෙන අම්මගේ නමට හානි නොවන ආකාරයෙන් නමක් හදාගත් කෙනෙක් විදියට නිසාම මට කලාවේ රැඳෙන්න ලොකු ආරක්ෂාවක් තිබුණා.
ජීවිතය කලාවෙන් ආරම්භ කරපු අම්මා කලාත්මකව ඇගේ පවුල් ජීවිතය ඉතාම සුන්දරව අරගෙන ගිහින් තියෙනවා. අම්මාගේ ජනප්‍රියතම කාලේ තාත්තා විදෙස්ගත වෙලා ඉඳලා තියෙන්නෙ අම්මා මගේ වැඩ කටයුතු නිසා සමහර නිර්මාණ අතහැරලා ලොකු කැපවීමක් කරලා තියෙනවා. ඒ වගේම තාත්තා නැති නිසා තාත්තාගේ කොටසත් මං වෙනුවෙන් කරන්න අම්මට සිදුවෙලා තියෙනවා. අම්මා කොයි තරම් කටයුතු බහුල ජීවිතයක් ගත කළත් මගේ ජීවිතය එයාගේ හැමදේටම වඩා පළමු තැන කරගෙන තමයි කටයුතු කළේ. එයා දවස පටන් ගත්තෙ මගේ ජිවිතයේ එදිනෙදා වැඩ කටයුතුවලට මුල් තැන දීලා.
කවදාවත් මට තාත්තවත් අම්මවත් රංගන ක්ෂේත්‍රයට එන්න කියලා බලපෑම් කරලා නැහැ. මට මගේ නිදහසේ මම කැමති විදියට ජීවිතය ගොඩ නගාගන්න අවසරය දීලා තිබුණා.
අම්මා ළඟ තිබුණු මම හුඟක් ආදරේ කරපු ගුණය තමයි මට ඇහුම්කන්දෙන එක. අම්මා මොන වැඩක නිරත වුණත් මම මොනවා හරි කියන්න හදනකොට මාව ළඟට අරගෙන ඒක පුදුම සතුටකින් අහගෙන ඉන්නවා. ඒ වගේම තාත්තා තමයි මගේ හොඳම විචාරකයා. මගේ රංගනයේ අඩුපාඩු හොඳටම කියලා දෙන්න තාත්තට හොඳට පුළුවන්.

මං ආසයි අම්මා වගේ වෙන්න

මම හුඟක්ම කැමති අම්මා වගේ චරිතයක් වෙන්න. මගේ විවාහයේදී වුණත් අම්මා තාත්තා ලබා දුන් නිදහස ඉතාම ආදරණීයයි. අම්මා ජීවිතයට අවශ්‍ය හැමදේම මට කියලා දීලා මාව ඇගේ ජීවිතයේම පැතිකඩක් විදියට ගොඩ නැගුවා. අම්මා ගෘහිණියක් හැටියට දන්න හැමදේම මට ලබා දුන්නා. අම්මාට රසට උයන්න පුළුවන්. මොන කෑම හැදුවත් පුදුම රසක් ඒවායේ තියෙනවා.
හුඟක් අය මාව තිසුරි කියලා හැඳින්වූවාට මම කැමති සුසන්තාගේ දුව කියලා මාව හඳුන්වනවාට. මොකද මම අම්මගේ කුසේ ඉද්දිම අම්ම මාව රංගනයට යොදාගෙන තියෙනවා. කන්දෙ ගෙදර නාට්‍යයේ අම්මා රඟපාපු දරුවෙක් ලැබෙන්න ඉන්න චරිතය අනුව ඇත්තටම ඒ වෙන කොට මම අම්මගේ කුසේ ඉඳලා තියෙන්නේ. ඒ නිසා මම ඒ කොටස් ටික බලපු වාර ගණන මටවත් මතක නෑ. ඊට පස්සේ අවුරුදු පහේදි හයේදී වගේ මම රඟපාපු අවස්ථා තිබුණා. නමුත් මං ආස අම්මා මාව හම්බ වෙන්න ඉද්දි අම්මා රඟපාපු ඒ දර්ශනවලට. අද වන විට අම්මා පසුගියදා ඇතිවුණු අසනීප තත්ත්වය නැවතත් උත්සන්න වෙලා ප්‍රතිකාර ගන්න ගමන් ඉන්නේ
මට අම්මව හුඟක් ආදරෙන් බලා ගන්න පුළුවන් වුණා පසුගිය අසනීප කාලේ මම ඒක පුදුම සතුටකින් කළේ. අම්මව මගේ ළඟින් තියාගෙන එයා වෙනුවෙන් හැමදේම කරන්න ලැබුණු ඒ කාලේ හරිම ආදරණීයයි.

මමත් මහත්තයාත් හුඟක් ආසාවෙන් ඉන්න දෙයක් තමයි අපි දෙගොල්ලන්ගේම මවුපියන් අපි ගාව තියාගෙන ආදරයෙන් බලාගන්න එක. ඒක දරුවෝ හැටියට අපිට ලැබෙන ලොකු වාසනාවක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: