hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2025 මාර්තු 12, ප.ව. 1:51



සූදානමකින් තොරව කාරක සභාව ඉදිරියේ කරුණු දැක්වීමට පැමිණීම පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදය පළ කළේ ය.

මේ අනුව, ඉදිරි දිනකදී නැවත පැමිණීමට දැනුම් දෙන බවත් එදින සූදානම් වී පැමිණෙන බව ත් දන්වමින් පැමිණි නිලධාරීන් නැවත හරවා යැවීම සිදුවිය.

මෙසේ නිලධාරීන් හරවා යැවීම සිදුවූයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2020, 2021, 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්ගේ සභාපතිත්වයෙන් මාර්තු 10 වන දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

මෙහිදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පසුගිය රැස්වීම්වලදී ලබා දෙන ලද නියෝග ඉටුකිරීම සම්බන්ධයෙන් විමසා සිටින ලදී.

විශේෂයෙන් ම රේගු පරිගණක පද්ධතිය සමග සම්බන්ධවීමට ප්‍රථම, සිදුවූ අනීතික වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණු 25ක් පිළිබඳ සිදු කළ පරීක්ෂණ හා එම කටයුතුවලට වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව ගත් විනය ක්‍රියාමාර්ග ඇතුළු වර්තමාන තත්ත්වය සඳහන් කරමින් කාරක සභාවට වාර්තාවක් ලබා දිය යුතුව තිබූ බව ත් එය ලබා දී නොමැති බව ත් විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. ‍

මෙහිදී නිලධාරීන් වාර්තාවක් ලබා දී ඇති බව පැවසුවත් විගණකාධිවරයා එය තමාට ලැබී නැති බව පැවසීය.

මෙහිදී ලබාදුන්නේ යැයි පැවසූ වාර්තාවේ පිටපතක් සභාගත කළ අතර එම පිටපත පරීක්ෂා කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් කිසිසේත් ම සෑහීමකට පත් විය නෙ‍ාහැකි බව විගණකාධිපතිවරයා කාරක සභාවට පැවසීය.

මේ අනුව, මේ සම්බන්ධයන් දීර්ඝ වශයෙන් කමිටුව කරුණු විමසූ අතර නිලධාරීන් ඒ සඳහා පිළිතුරු ලබා දීමට අපොහොසත් විය.

නිලධාරීන් පෙන්වා දුන්නේ, පැරණි තොරතුරු තමන් සතුව නොමැති බව ය.

මේ අනුව, කාරක සභාව නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරමින් මෙම ආයතනය නැවත කැඳවන බව දන්වමින් කාරක සභාව අතරමග නැවැත්වීමට කටයුතු කළේ ය.

එසේ පැමිණෙන දින හොඳින් සූදානම්වී පැමිණෙන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දීම ද කාරක සභාව විසින් කටයුතු කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: