hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 ජූලි 08, පෙ.ව. 11:39



“පුතා ගැන අපි ගොඩක් බලාපොරොත්තු තබාගෙන හිටියේ. පුතාට ඉහලට යන්න අපි ලොකු සහයෝගයක් ලබා දුන්නා. අපි හිතාගෙන හිටියේ පුතා විශාල වෘක්ෂයක් වෙලා අපිට සෙවනක් දේවි කියලා. නමුත් ඒ වෘක්ෂය මුලින්ම කපා දැම්මා වගේ දෙයක් වුනේ” යැයි මාගාල්ල අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ දි ඇති වූ ගැටුමේදී මියගිය තරුණයාගේ පුංචිඅම්මා වන අම්බිකා උපමාලි මහත්මිය පැවසුවා.

කඩු කිණිසි හා තියුණු ආයුධ වලින් පහරදිමෙන් මෙසේ ඝාතනය කොට ඇත්තේ අක්මිමන උඩුමුල්ලවත්ත, යටගල වංචාවල ප්‍රදේශයේ පදිංචි ඩි.ඩබ්ලිව් අචිර සාලින්ද නැමති කොතලාවල ආරක්ෂක පීඨයේ උපාධිධාරියෙක්.

මාගාල්ල අයි.ඕ.සි. ඉන්ධන පිරවුමහලේ පෝලිමේ තිබූ වැගන්ආර් කාර් රථයකට ඉදිරියෙන් තවත් කාර් රථයක් ඇතුලත් කිරිම සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් දුරදිගයාමෙන් අචිර සාලින්දට සිය ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුණා.

මියගිය තරුණයාගේ පුංචිඅම්මා මෙසේ අදහස් දක්වා සිටියා.

“මේ දරුවා පොඩි කාලයේ ඉදලා පෙරපාසල් ගියේ මාගේ ළග ඉදලා. ඉගෙනීමට දක්ෂයි. ශිෂ්‍යත්ව විභාගයද සමත් වුණා. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ තමයි ඉගෙනුම ලැබුවේ. සාමාන්‍ය පෙළ විභාගයත් ඉහලින් සමත් වුණා. 2016 වර්ෂයේදී උසස්පෙළ විභාගයට පෙනී ඉදලා විෂයන් තුනට සම්මාන තුනක් ලබා ගත්තා. පසුව කොතලාවල ආරක්ෂක පීඨයට ඇතුලත් වෙලා ඉගෙන ගත්තා. උපාධිය ලබාගෙන  තිබුණේ. උපාධි ප්‍රදානෝත්සවයට තමයි සහභාගී වෙන්න තිබුණේ. පුතාගේ තාත්තා රණවිරුවෙක් ජයසිකුරු මෙහෙයුමේ දි  95 වර්ෂයේ දි ඔහු මියගියා. එතකොට පුතාගේ වයස අවුරුද්දයි මාස දෙකයි. 2015 වර්ෂයේ දි  පුතා සාමාන්‍ය පෙළ විභාගය සමත්වෙලා උසස්පෙළ විභාගය සදහා සූදානම් වෙමින් සිටියදි තමයි මව රිය අනතුරකට ලක්වෙලා මියගියේ. මව මිය යනවිට පුතාගේ වයස අවුරුදු 17යි. අම්මා නැතිවුනාට පසු මම තමයි පුතාගේ වගකිම ගත්තේ. පුතා පුද්ගලික ආයතනයක සේවය කරනවා. ඊයේ (07) තමයි නිවාඩු ලැබිලා ගෙදර ආවේ.”

මියගිය තරුණයාගේ බාප්පා වන කේ.සමන්ත මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“මියගොස් සිටින්නේ මගේ නංගිගේ පුතා. ඔහු  කොළඹ නගරයේ පුද්ගලික රෝහලක සේවය කරනවා. ඊයේ (07) තමයි නිවාඩු ලබාගෙන ගෙදර ආවේ. නිවසේ පැයක් පමණ ඉදලා තියෙනවා. පුතාගේ යාලුවෝ ඉදලා තියෙනවා තෙල් පෝලිමේ. පුතා තෙල් පෝලිමට ගිහින් තියෙනවා. එතනදි තමයි  ගැටුමක් ඇතිවෙලා පුතාට පහරදීලා තියෙන්නේ. බලහත්කාරයෙන් කාර් රථයක් තෙල් පෝලිමට ඇතුල්කිරීම නිසා කථාබහක් ඇතිවෙලා තියෙනවා. එම කාර් රථයේ පුද්ගලයාගේ හිතවතුන් පිරිසක් කඩු කිණිසි අරගෙන  ඇවිත් තමයි පුතාට පහරදීලා තියෙන්නේ. පුතාගේ අයියා මේ අයට කෑම අරගෙන ඇවිත් තියෙනවා. ඒ අවස්ථාවේ ඔහුටත් කඩුවකින් පහරදීලා ගෙල තුවලා වෙලා රෝහලේ ප්‍රතිකාර ලබනවා. පුතාගේ තව මිතුරෙකුගේ අත කැපිලා රෝහලේ ප්‍රතිකාර ලබනවා. විස්සක් පමණ පිරිසක් ඇවිත් පුතා තනිකරලා තමයි පහරදීලා තියෙන්නේ. මම එම ස්ථානයට යන විට පුතා වැටිලා ඉන්න කොට ලොරියකින් තමයි රෝහලට අරගෙන ගිහින් තියෙන්නේ. රෝහලට රැගෙන යන විටත් පුතා මිය ගිහින්.”

Example Image