hit counter

2025 මැයි මස 04 වන ඉරිදා

2025 මැයි 04, ප.ව. 2:59



වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී විසි හය හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබුණේ අප්‍රේල් දෙවනදායි.

බදුල්ල මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි සත්සර නිමේෂ් නම් එම තරුණයා මෝස්තර නිරූපණ ශිල්පියෙකු වූ අතර ඔහු නාඋල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටියදී ඒ සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරක් මත පොලිස් භාරයට ගෙන තිබුණා.

මානසික ආබාධයකින් පෙළෙන බව නිරීක්ෂණය වූ බැවින් ඔහු අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ඇතුළත් කර පසුව මියගිය බව පොලිසිය නිවේදනය කළා.

එහෙත් මෙම තරුණයා මිය යාම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියට සමාජයේ දැඩි විරෝධයක් එල්ල වූ අතර සිද්ධියට අදාළව පූර්ණ විමර්ශනයක් කිරීම සඳහා වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා නිර්දේශ කළේ ඒ අනුවයි.

එවන් පසුබිමක ජීවිතක්ෂයට පත්වූ විසි හය හැවිදි තරුණයාට සාධාරණයක් ඉල්ලා ඔහුගේ ඥාතීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් තිබූ අතර තරුණයාගේ සිරුර ගොඩ ගෙන නැවත පූර්ණ පශ්චාත මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියම කළා.

බදුල්ල මීගහකිවුල ප්‍රදේශයේදී තරුණයාගේ සිරුර වල දමා තිබූ අතර එය ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයට රැගෙන එනු ලැබුවා.

ඊට අදාළ මරණ පරීක්ෂණ වාර්තාව ඥාතීන්ට භාරදුන් අතර එම අවස්ථාවට මියගිය තරුණයාගේ මව සහ පියා ඇතුළු පිරිසක් කොළඹ අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනය ඉදිරිපිටට පැමිණ සිටියා.

“මරණයට හේතුව කුමක්ද? මරණයේ හේතුවට ප්‍රධාන සැකකරුවෙක් ඉන්නවා. ඒ ප්‍රධාන සැකකරුවා තමයි නළුවෙක් විදිහට සමාජගත වෙලා ඉන්න ප්‍රියන්ත විජේකෝන්. එයා මේකට පැහැදිලිවම උත්තර දෙන්න ඕනේ. මොකද එයා මේකේ ඇතුළාන්තයේ සියල්ලම දන්න කෙනෙක්. මෙයාව රැගෙන යන්නේ එයාගේ වාහනේ. මගේ පුතා කුඩුකාරයෙක් වුණත්, අයිස් කාරයෙක් වුණත්, වෙන පුද්ගලයෙක් වුණත් මරන්න තහනම්. මම අඩන්නේ නැතුව මේ විද දරාගෙන ඉන්නේ මගේ පුතාට අද සාධාරණයක් දොස්තර මහත්තුරු දෙයි කියන බලාපොරොත්තුවෙන්” යනුවෙන් නිමේෂ්ගේ මව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: