hit counter

2025 මැයි මස 18 වන ඉරිදා

2025 මැයි 08, පෙ.ව. 12:25



සිහිනයක් මැව්නා
කාලයක් ගෙව්නා
දෑස් යුග තෙමුනා
ආදරේ දැනුනා…

ඉතින් අවසරයි සමුගන්නට “විහාරා” ගෙන්!
හැමෝම අහපු ප්‍රශ්නෙට උත්තරේ.
ඔව්, ආයිත් විහාරා ටීචර් ඉස්කෝලේ එන්නේ නෑ

2021 පටන්ගත්ත මගේ ටෙලිනාට්‍යය රංගන ජීවිතේ හැරවුම් ලක්ශ්‍ය, පිට පිට අවුරුදු 3ක් පුරාවට රයිගම් සහ සුමති සම්මාන උළෙලවල්වල ජනප්‍රියම ටෙලිනාට්‍යය නිලිය කාන්ඩයේ අවසාන තිදෙනා අතරට මාව ගෙනාපු ඒ චරිතය, ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අසීමිත ආදරයකින් වැලදගත් “විහාරා” චරිතයෙන් ඉතාමත් ආදරනීයව සමුගන්නා බවට ඔබව දැනුවත් කිරීම, ඔබ මට ලබාදෙන මේ ආදරේට කරන යුතුකමක් ලෙස මා සලකමි!

ඔව් “විහාරා” ගොඩක් අවස්ථාවල දමිත්‍රිම තමයි! විහාරා චරිතය ගැන, ඔබෙන් ඒ ලැබුන අසීමිත ආදරය ගැන කියන්නවත්, ලියන්නවත් මා හට වචන ගලපගන්න බැරි තරමට මා සංවේදී! ඒ වගේම රංගන ශිල්පිනියක් විදියට ඒ චරිතයෙන් ඉවත්ව යන විට ලබන්න පුලුවන් ආදරණීයම, ගෞරවාන්විතම සමුගැනීමක් ලබාගන්න තරම් මං වාසනාවන්ත උනා

රංගනය සහ නර්තනය පිලිබදව වැඩිදුර අධ්‍යාපන කටයුතු සදහා විදෙස්ගත වීමට සිදුවූ බැවින්, මාගෙන් මාගේ ටෙලිනාට්‍යයට සිදුවේයැයි සිතූ ප්‍රායෝගික අපහසුතා වලට විසදුමක් ලෙස මෙන්ම, තවත් පුද්ගලික සැලසුම් කිහිපයක් නිසාවෙන් පමණක්ම මේ තීරණය ගැනීමට සිදුවූ බවට ඉතාම කණගාටුවෙන් වුවත් මාගේ ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීමට කැමැත්තෙමි!
එමෙන්ම මාගේ මේ තීරණය පිලිබදව දැනුවත් කල අවස්ථාවේ ඉතාම ගෞරවාන්විත, ආදරණීයම සමුගැනීමක් මාගේ චරිතය වෙනුවෙන් ලබාදීමට සැලසුම් කල ලක්සිරි වික්‍රමගේ සර්, මාධව මඩවල සර්, සමන් එදිරිමුනි අයියා, සාලින්ද රත්නායක අයියා, දම්මික අලුත්ගෙදර අයියා, සහන් රන්වල සර්, සුසිලා මහත්මිය ඇතුලු සියලුම ජ්‍යෙෂ්ඨ සහ සහෝදර රංගන ශිල්පීන් සැමට, මයුර අයියා, ගයාන් අයියා ඇතුලු තිරය පිටුපස සහය දෙන සියලුම කාර්මික, තාක්ෂණික ශිල්පීන් හට මාගේ ආදරණීය, ගෞරවනීය ස්තූතිය හැමදාමත් ඇත

දෙරණ මාගේ ජීවිතේ හැරවුම් ලක්ශ්‍ය. දෙරණට හැමදාමත් ආදරෙයි! මාගේ ටෙලිනාට්‍යය රංගන ජීවිතේ මගේ පියා, ලක්සිරි වික්‍රමගේ සර්, බොහොම ස්තූතියි හැම මගපෙන්වීමකටම. සර් හැමදාමත් කියනවා වගේ ඒ මගපෙන්වීම මාගේ රංගන ජීවීතේට මෙන්ම පුද්ගලික ජීවිතේටද ඉස්සරහටත් මග පෙන්වීමක් වෙයි විහාරා චරිතේ ලස්සනට ලියපු සමන් එදිරිමුනි අයියා ඔයාටත් බොහොම ස්තූතියි! එමෙන්ම 2019 දෙරණ අවුරුදු කුමාරිය වෙද්දී මුලින්ම හරියට ඇවිදින විදිය පවා කියලා දුන්න, තාමත් ඒ මගපෙන්වීම ඒ විදියටම ලබා දෙනවට චන්දන වික්‍රමසිංහ සර්ටත් ගොඩක් ස්තූතියි එමෙන්ම සුබා අක්කා ඇතුලු දෙරණ කාර්‍යමණ්ඩලේ සැමටම ගොඩක් ස්තූතියි! මෙහි පලමු අධ්‍යක්ෂ දිලුක අයියටත් ස්තූතියි!

මගේ සමුගැන්ම සමග ඔබේ රසවින්දනයට යම් හානියක් ඇතිවූවේ නම් ඒ වෙනුවෙන් මා සමාව අයැද සිටීමට මෙය අවස්ථාවක් කරගනිමි. මේ ලබාදුන් නොමද ආදරය ඉදිරියටත් ඉස්කෝලේ ටෙලිනාට්‍යය වෙත ලබාදෙනමෙන් ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිමි!
එමෙන්ම මෙය මාගේ කලා ජීවිතේ නිමාව නොව, තවත් පටන්ගැන්මක් පමණි! නුදුරේම තිරගතවීමට තිබෙන මාගේ සිංහල චිත්‍රපට දෙකටද ඔබ විසින් මට පුරුදු සෙනෙහසින්, ආශිර්වාද කරන බවට මා විශ්වාස කරමි!

තවත් එකිනෙකට වෙනස් නිර්මාණ හා චරිත තුලින්, නර්තන හැකියාවන් තුලින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් මේ සමුගැනීමට සමාව දෙන්නැයි යළිත් කාරුණිකව සිහිපත් කරමි. ආදරණීය ඔබේ ආශිර්වාදය සහ අසීමිත ආදරය මා සතු එකම වත්කම නිසාවෙන්, මගේ අනාගත රංගන ජීවිතය උදෙසා මා හට එම ශක්තිය නොමදව ඉදිරියටත් ලබාදෙන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි!

එහෙනම් අවසරයි “විහාරා ටීච” ට සමුගන්නට!
ශ්‍රී ලාංකීය කලාකාරිනියක් ලෙස ශ්‍රී ලංකාවේ කලාව තුල මාගේ උපරිම දක්ශතාවය පෙන්වා, කලාවෙන් ඔබව පිනවීමටත්, පලමු දින පටන් ඔබ මා හට ලබාදුන් මේ අසීමිත ආදරය සහ ගෞරවය රැකෙන අන්දමින් ඉදිරියටත් ජීවිත් වීමට මා ඔබට පොරොන්දු වෙමි

දමිත්‍රි සුබසිංහ
28.04.2025





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: