hit counter

2025 ජූලි මස 31 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 30, පෙ.ව. 10:29



බොරැල්ල කනත්ත වටරවුමේදී සිදුවූ මාරක රිය අනතුර සිද්ධියට සම්බන්ධ දොඹකරයට අංක තහඩුවක් පවා නොතිබූ බවත්, එහි අංකය කඩදාසියක ලියා සවිකර තිබූ බවත් බොරැල්ල පොලිසිය කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් එම්. එස්. රිස්වාන් වෙත ඊයේ (29 වැනිදා) දන්වා සිටියේය.

අදාළ දොඹකරය රජයේ මෝටර් රථ පරීක්ෂකවරයා විසින් විශේෂ පරීක්ෂාවකට ලක්කළ බවත් එහිදී අත් තිරිංග අක්‍රිය තත්ත්වයක පවතින බවත් තිරිංගවල තෙල් පවා නොතිබූ බවත් හෙළිවී ඇතැයි ද පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

මෙම දොඹකරයේ ඇන්ජිම පණ ගන්වන ස්විචය පමණක් ක්‍රියාත්මකව පැවැති බවත්, ඇන්ජිම අක්‍රිය කරන ස්විචයක් ක්‍රියාත්මක නොවූ බවත් විමර්ශනයේදී අනාවරණය වූයේ යැයි දන්වා සිටි පොලිසිය අධික ලෙස රත්වීම නිසා තිරිංග ක්‍රියාවිරහිත තත්ත්වයට පත්වන බව දැන දැනම දොඹකරයේ රියැදුරු අදාළ රථය මාර්ගයේ ධාවනය කර ඇති බවත්, මීටර් 200 ක පමණ දුරක් තිරිංග ක්‍රියාකාරීත්වයෙන් තොරව ධාවනය වී ඇති බවත් අනාවරණය වී ඇතැයි ද දන්වා සිටියේය.

අදාළ අනතුර සිදුවන්නට ගිය අවස්ථාවේ රියැදුරු දොඹකරය වම් පැත්තට හරවා බොරැල්ල කනත්ත තුළට රැගෙන ගියා නම් මෙම අවාසනාවන්ත සිද්ධිය වළක්වා ගැනීමට හැකිව තිබූ බව දන්වා සිටි බොරැල්ල පොලිසියේ නිලධාරීන් දොඹකරයේ හිමිකරුද අදාළ වාහනය නිසි පරිදි නඩත්තු කර නොමැති බව විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි දන්වා සිටියේය.

මෝටර් රථ වාහන පනත අනුව දොඹකරයක් වැනි රථයක් ධාවනය කරන රියැදුරකු පැය 8 ත්, 12 ත් අතර කාලයක් ධාවනයේ යෙදෙන්නේ නම් ඊට පෙර පැය 10 ක විවේකයක් ලබාදිය යුතු බව සඳහන්ව තිබුණ ද අදාළ රථයේ හිමිකරු විසින් සැකකාර රියැදුරුට එවැනි විවේකයක් ලබාදී නොමැති බව විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි දන්වා සිටි පොලිසිය දොඹකරය ධාවනය කරන අවස්ථාවේදී රියැදුරු දැඩි තෙහෙට්ටුවකින් මෙන්ම මානසික යෝග්‍යතාවයකින් නොසිටි බවත් දන්වා සිටියේය.

මෙම රිය අනතුරට අදාළව අත්අඩංගුවට ගත් දොඹකර රියැදුරු ගංජා නමැති මත්ද්‍රව්‍යය පානය කර ඇති බවට කොළඹ සහකාර අධිකරණ වෛද්‍යවරයා ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්ව ඇතැයි දන්වා සිටි පොලිසිය පෙරේදා (28 වැනිදා) සිදුවූ මෙම මාරක රිය අනතුර හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයන් 7 දෙනකු බරපතළ තුවාල ලබා ඇතැයි ද යතුරුපැදි 6 කට සහ කාර් රථ 2 කට හානි සිදුව ඇතැයි ද දන්වා සිටියේය.

සැකකාර රියැදුරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් අදාළ රථය පැදවූ අවස්ථාවේදී සැකකරු ගංජා පානය කර සිටි බව පොලිසිය ප්‍රකාශ කළත්, එවැනි ද්‍රව්‍යයක් ඔහු විසින් පානය කර ඇත්තේ දින 4 කට ඉහතදී බව සඳහන් කළේය.

සැකකාර රියැදුරු කඩුවෙල සිට කිලෝමීටර් 10 ක් පමණ කිසිදු ආබාධයකින් තොරව රථය ධාවනය කළත්, හදිසියේ තිරිංග අක්‍රියවීම ඔහුගේ පාලනයෙන් තොර කටයුත්තක් බව පෙන්වා දුන් සැකකරුගේ නීතිඥවරයා සැකකරු තමන්ට හැකි ආකාරයට හානිය අවම කරගැනීමට උත්සාහ කර තිබෙන බවද දන්වා සිටියේය.

දොඹකරයේ හිමිකරුට එම රථයට අදාළව යෝග්‍යතා සහතිකයක් තිබෙන බවත් තම සේවාදායකයන් විසින් මියගිය පුද්ගලයාට සානුකම්පිත දීමනාවක් ගෙවීමට සූදානම් බවත් දන්වා සිටි සැකකරුවන්ගේ නීතිඥවරුන් ඔවුන් දෙදෙනා ඇප මත මුදාාහරින ලෙස ඉල්ලා සිටියේය.

දොඹකරයේ හිමිකරු ඇප මත මුදාහරින ලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරයා එහි රියැදුරු ලබන මස 7 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: