hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 ජනවාරි 21, ප.ව. 1:45



කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් නුවරඑළියේ අධ් යාපන චාරිකාවක නිරතව නැවත කොළඹ බලා බස් රථ හතක් පැමිණ තිබුණා.

නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය වදැල්ල කෙටි මාර්ගය ඔස්සේ අධික වේගයෙන් ගමන් ගත් මෙම බස් රථ අතරින් එක බස් රථයක් ඉදිරියෙන් පැමිණි වෑන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටුණා.

නුවරඑළියේ සිට හැටන් දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථය අධික වේගය නිසා රියදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටුණු බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් පසුව පාසල් සිසුන් රැගත් බස් රථය අඩි සීයක පමණ ප්‍රපාතයකට ගමන් කර නැවතී තිබුණා.

වෑන් රථයේ ගමන් කල හය දෙනෙකු සහ ත්‍රීරෝද රථයේ රියදුරා එම ස්ථානයේදීම මිය ගියා.

සිද්ධිය ඇසින් දුටුවන් මෙසේ අදහස් දක්වා සිටියා,

“අපි කිව්වා හිමීට යන්න කියලා. කෑ ගහලා කිව්වා.මියුසික් දාගෙන මූ ඔක්කොම ඒ ෂෝට්කට් එකේ බැස්සේ හයියෙන්. බස් දහයක් විතර ගියා. ඔක්කොම රේස් තමයි ගියේ. බස් හතක් විතර ගියා. වීල් පාක් එකේ කොල්ලෙක් වීල් එක හයර් එකේ ගිහිල්ලා එනකොට තමයි වැදිලා තියෙන්නේ. අපි තමයි උස්සලා දානකොට ලේ ඔක්කොම කනේ.”

“ඔය රියදුරු මල්ලි දැනගන්න ඕනේ ඇයි ෂෝට් කට් එකේ යන්නේ කියලා. පොලිසියේ මහත්තුරු ආර්. ඩී. මහත්වරු ඔච්චර බෝඩ් දාලා තියෙනවා. බහින්න එපා කියලා. බස් රියදුරන්ට බෝඩ් පේන්නේ නැද්ද? මම කොහෙද දකුණේ? ඒක බලනවා නං ඇයි ටොන් හතරකින් වැඩි වෙන්නේ බස් යන්න එපා. දෙමළෙන් ගහලා තියෙනවා. සිංහලෙන් ගහලා තියෙනවා. මේ රියදුරු මහත්තයෝ මෙහෙම කරන්නේ. ළමයි කී දෙනෙක් අසරණද? දෙමව්පියෝ දැනගන්න මේ ළමයි ඉස්කෝලේ යවනවා නම් සුදුසු රියදුරු මහත්තයත් එක්ක සුදුසු බස් එකේ යවන්න කියලා දැනගන්න. එච්චර තෙල් ඉතුරු කරන්න පුළුවන්ද ෂෝට් කට් එකේ ගියා කියලා. ඔය ඔච්චර රවුම් පාරක් මේ ලස්සනට හදලා තියෙන්නේ. යන්න දන්නේ නැද්ද රියදුරු මහත්තයා. දන්නේ නැද්ද? බස් හතරක් පහක් ගියා. පොඩි ළමයි අර රේස්නේ යන්නේ. දැන් වෙලා තියෙන අසාධාරණයට රියදුරු තමයි වගකියන්න ඕනේ.”

වෑන් රථයේ සිටි හය දෙනා අතුරින් පස් දෙනෙකුම එක ම පවුලේ සාමාජිකයින් වන අතර ඔවුන් රෝගියෙකු බැලීම සඳහා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

ඔවුන් නානුඔය දික්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

මියගිය අය අතර වයස අවුරුදු අට සහ දොළහ වයස්වල පසුවන ගැහැණු ළමුන් දෙදෙනෙක් සහ අවුරුදු දහනවයක පිරිමි ළමයෙකුද වනවා.

අවුරුදු විසිහය සහ විසිහත යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙක් සහ අවුරුදු හතළිස් තුනක කාන්තාවක්ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් එම පවුලේ මව, පියා සහ දරුවන් තිදෙනායි.

අනතුරින් වෑන් රථයේ සහ ත්‍රීරෝද රථයේ රියදුරුද මිය ගියා.

වෑන් රථයේ රියදුරු හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි තිලිවරාජ් පිල්ලේ නැමැති තරුණයෙක්.

ත්‍රීරෝද රථයේ රියදුරු නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරට ලක්වූවන් පිළිබඳ විමසීම සඳහා අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාද අනතුර සිදු වූ ස්ථානයට ඊයේ පැමිණ සිටියා.