hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 25, පෙ.ව. 7:16



වේයන්ගොඩ ගුවන් පාලම අසල දී දහ අට හැවිරිදි තරුණියකට පහර දුන්නා යැයි කියන සිද්ධියක් සම්බන්ධව වේයන්ගොඩ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතා කරුණු දක්වමින් වේයන්ගොඩ ගුවන් පාලම අසල දී 18 හැවිරිදි තරුණියකට පහර දෙමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු පහර කෑමට ගොදුරු වී ඇති තරුණිය සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවත් ඇය එම ප්‍රේම සම්බන්ධය නැවැත්වූවා යැයි කියමින් ප්‍රේම සම්බන්ධය පැවැත්වූ කාලයේ වීඩියෝ හා ජායාරූපගත කර තිබූ ලිංගික එක්වීම් අන්තර් ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් පහරදීම කර ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇති බව ද පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

මොහු සතුව තිබී පොලිසිය භාරයට ගෙන ඇති ජංගම දුරකතනය තුළ එම අසභ්‍ය දර්ශන තිබෙන බවත් එම දර්ශන මොහුගේ ලැප්ටොප් පරිගණකය තුළ ද ගබඩා කර ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යන බව ද පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියා.

නීතිඥ අයේෂා කුමාරි මහත්මිය කරුණු දක්වමින් පළමු ප්‍රේමය කඩාදැමීම හේතුවෙන් ඉවසා ගැනීමට නොහැකි වීම නිසාම මේ තත්ත්වය උදා වූ බවත් මින් ඉදිරියට මෙවැනි දේ නොකරන බවට සැකකරු පොරොන්දු වන බවත් ඔහුගේ මව ද අධිකරණයට පැමිණ සිටින බවත් පවසා සිටියා.

පොලිස් ස්ථානාධිපතිවරයා නැවත කරුණු දක්වමින් සැකකරුට ප්‍රේමය අහිමි වූවා යැයි කියන සිද්ධිය හේතුවෙන් මානසික තත්ත්වය අනුව පැමිණිලිකාරියට අනතුරක් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව කියා සිටියා.

එසේ කිසි දෙයක් නොකරන බවට සැකකරු පොරොන්දු වෙනවා යැයි නීතිඥවරිය කියා සිටියා.

මෙහිදී දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා කරුණු දක්වමින් ඉදිරියට කිසියම් සිද්ධියක් සිදු කළහොත් ඇප අවලංගු කර රිමාන්ඩ් භාරයේ රඳවා තබන බවට සැකකරුට තරයේ අවවාද කරමින් එසේ කොන්දේසි සහිත ශරීර ඇප නියම කර තිබෙනවා.