hit counter

2026 අගෝස්‍තු මස 12 වන බදාදා

2026 ජූනි 27, පෙ.ව. 12:04



නුවරඑළියේ නවාතැන්පොළකදී භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට ප්‍රවාහන පහසුකම් සහ නවාතැන් පහසුකම් දීමේ චෝදනා මත කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියැදුරෙකු අත්අඩංගුවට ගැනුණු බව වාර්තා වූ අතර එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා බව ද සඳහන් විය.

එසේම ඔහු මැණික්හින්න පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයෙක් වන අතර, පොලිසියේ උසස් නිලධාරියෙකුගේ නිවුන් සහෝදරයෙකු ද වන බවට පොලිසිය සඳහන් කරයි.

මේ අතර අඳාළ පොලිස් නිලධාරියා මෙම ඝාතනයට ආධාර අනුබල දුන් ආකාරය සම්බන්ධයෙන් භෞත චිකිත්සකවරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ කරුණු රැසක් පාපොච්චාරණය කර ඇත.

ඒ අනුව ඔහු පාපොච්චාරණය කර ඇත්තේ,

”සර් මේ කේස් එක වෙලා මම හැංගිලා හිටියේ කුණ්ඩසාලය ප්‍රාදේශීය සභාවේ රියැදුරුගේ ගෙදර. මම ඒ වෙලාවේ සහය පැතුවේ ඒ ඩ්‍රයිවර්ගෙන්. එයා තමයි සර් මට මේ පොලිස් නිලධාරියාවත් සම්බන්ධ කළේ. ඩ්‍රයිවර් මගේ ඉස්සරහා ඒ පොලිස් නිලධාරියාට දුරකථන ඇමතුමක් ගත්තා. පසුව එම පොලිස් නිලධාරියා රියැදුරුට කිව්වා ගෙදරට ඇවිල්ලා කතා කරමු කියලා. ඒ අනුව ඔහු ගෙදරට ආවා. ඒ ඇවිල්ලා පොලිස් නිලධාරියා මට කිව්වා මගේ මල්ලි උසස් පොලිස් නිලධාරියෙක්, කිසි දෙයකට බය වෙන්න එපා, ඔයාගේ මේ ඩ්‍රයිවර් යාලුවාගේ කේස් දෙකකටත් ඔහුගේ මල්ලි කතා කළා කියලා. එහෙම තමයි මට ඒ පොලිස් නිලධාරියාව හම්බ වුණේ.” යනුවෙන්.

එමෙන්ම මෙම ප්‍රධාන සැකකරු අදාළ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියැදුරුගෙන්ද ලක්ෂ 05ක මුදලක් ලබා ගෙන ඇති බවට විමර්ශනවලදී හෙළි වූ බව සඳහන්.

ඒ ඔහුගේ බිරිඳ විදෙස්ගත කරන බවට සඳහන් කරමින්.

තවද අදාළ රියැදුරුගේ පුතා විසින් රුපියල් 50,000ක් වටිනා ජංගම දුරකථනයක් සහ සිම් කාඩ්පතක්ද ප්‍රධාන සැකකරු යාපනයට පළාගිය දිනයේදී ලබා දී ඇති බවට කරුණු හෙළි වී ඇත.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ අත් අඩංගුවට ගත් රියැදුරුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන අතර, ඔවුන් තිදෙනා සහ කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: