hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 10, පෙ.ව. 12:02



වේයන්ගොඩ ප්‍රදේශයේ පාසලක නර්තන ආචාර්යවරයකු 11 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක සමඟ වට්ස්අප් පණිවිඩ හුවමාරු කරගනිමින් ඇය කිසියම් වැරදි ක්‍රියාවකට පොළඹවා ගැනීමට හෝ අතවරයක් කිරීමට උත්සාහ දැරීමේ සිද්ධියක් වාර්ථා වෙයි.

මේ පිළිබ‍ඳ ලැබුණු පැමිණිල්ලක් අළලා මූලික විමර්ශන පවත්වා සැකකාර ගුරුවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට කලාප අධ්‍යාපන කාර්යාලය වෙත යොමු කර ඇති බව ළමාරක්ෂක අධිකාරිය පවසයි.

නැටුම් ගුරුවරයා කලක පටන් මෙම සිසුවිය සමඟ වට්ස්අප් පණිවිඩ හුවමාරු කරගෙන ඇති බවත් සිසුවිය එම වට්ස්අප් පණිවිඩ ජංගම දුරකථනයේ තිර ඡායාරූප (screen shot) ලබා ගෙන ඒවා තම මිතුරියන් අතරේ හුවමාරු කරගෙන ඇති බවත් කියයි. මේ බව දැනගත් පාසලේ බලධාරියෙකු මේ පිළිබඳව කිසිදු අයෙකුට කිසිවක් නොපවසන ලෙසට සිසුවියට බලපෑම් කර ඇතැයිද හෙළි වී ඇත. මෙම සිද්ධිය දැනගත් බාහිර පාර්ශ්වයක පුද්ගලයකු විසින් මේ පිළිබඳව ළමා රක්ෂණ අධිකාරියට කළ දැනුම්දීමකට අනුව අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන අංශය මගින් මූලික විමර්ශනයක් සිදුකර එහි වාර්තාවක් ළමාරක්ෂණ අධිකාරිය වෙත යැවීමට පියවර ගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධ නැටුම් ගුරුවරයා පාසලේ කාන්තා පොලිස් ශිෂ්‍ය භට ඛණ්ඩය භාර ගුරුවරයා ද වන අතර අදාළ සිසුවිය නැටුම් විෂය හදාරනවා ට අමතරව පොලිස් ශිෂ්‍ය භට ඛණ්ඩයේ සාමාජිකාවක බව ද මෙම පරීක්ෂණයේ දී හෙළි වී ඇත. විදුහල්පතිවරයා තම දරුවා නිරන්තරයෙන් කාර්යාලයට ගෙන්වා නැටුම් ගුරවරයා සමඟ එවැනි සම්බන්ධයක් පැවැත්වූයේදැයි බොහෝ දෙනා ඉදිරිපිට තබා ප්‍රශ්න කර ඇති බවත් ඒ පිළිබඳව මව වන තමා සමඟ

විදුහල්පතිවරයා කතා නොකළ බවත් කියන දැරියගේ මව මෙම ප්‍රශ්න කිරීම හමුවේ තම දියණිය දැඩි ලෙස කම්පනයට පත්ව ඇති බවත් පැවසුවාය. සිද්ධිය සම්බන්ධව ළමා ආරක්ෂණ අධිකාරියෙන් කළ විමසීමකදී එහි ඉහළ නිලධාරිනියක සඳහන් කළේ අදාළ පණිවිඩ පරීක්ෂා කිරීමේ දී ගුරුවරයා විසින් ළමයා යම්කිසි වරදකට පොළඹවා ගැනීමට උත්සාහ දරා ඇති බවට පෙනෙන්නට ඇති බවයි.

එහෙත් දැරිය ලිංගික අතවරයකට ලක්වූ බවට තොරතුරු නැතැයි ද ගුරුවරයාට එරෙහිව නඩු පැවරීමට සිසුවියගේ කැමැත්ත අවශ්‍ය වන අතර සිසුවිය ඊට කැමැත්ත පළ කර නැති හෙයින් ගුරුවරයා සම්බන්ධව විමර්ශනයක් කිරීමට කලාප අධ්‍යාපන කාර්යාලයට යොමු කර ඇති බවත් එම ඇය සඳහන් කළාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: