hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 21, ප.ව. 12:07



“මගේ එකම බලාපොරොත්තුව මෘදුකාංග ඉන්ජිනේරුවකු වීමයි. ඒ වගේම මට ජනාධිපතිතුමා මුණගැහිලා කතා කරන්න ආසයි. මට ජනාධිපතිතුමා හමුවෙන්න කවුරුහරි උදවු කරනවා නම් ලොකු උපකාරයක්.” වාරියපොළ ශ්‍රී සුමංගල ජාතික පාසලේ අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත දරුවකු වන සිතිල තෙවිජාන් දමියුරු එසේ සඳහන් කළා.

ඔහු ලකුණු 160ක් හිමිකර ගනිමින් මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් වී තිබෙනවා.

සිතිලගේ ජයග්‍රහණය සුවිශේෂී එකක් වන්නේ ඔහු උපතින්ම දෑත් දෙපා අහිමි දරුවකු වන බැවිනි. සිතිලගේ වම් අතේ සවිකළ විශේෂ උපාංගයක ආධාරයෙන් ඔහුට යමක් ග්‍රහණය කිරීමට හැකියාවක් ඇති අතර එමඟින් පෑන පැන්සල හසුරුවා ලිවීමට හැකියාව ලැබී ඇත.

ස්ථිර රැකියාවක් නැති මව නොයෙකුත් ආර්ථික අපහසුතා මධ්‍යයේ සිතිලගේ සියලු කටයුතු ඉටුකරන්නේ ඔහුගේ අනාගතය වෙනුවෙනි.

සිතිලගේ මව වන ජේ.එම්. ධම්මිකා රාජපක්ෂ මෙසේ සඳහන් කළා.

“මගේ දරුවා සුමංගල පාසලේ ප්‍රාථමික අංශයේ  මුලසිටම අධ්‍යාපනය ලැබුවා. දරුවට ඇවිදින්න බැරි නිසා දරුවා වඩාගෙන පන්තියේ ඉන්දවනවා. මේ වනවිට දරුවාට කෘත්‍රිම පා යුවළක් සවි කරලා තිබෙනවා. ඒවා ලබාගන්න මට ගොඩක් අය උදවු උපකාර කළා. පානීය ජලය අලෙවි කරන එක මම ජීවිකා වෘත්තීය හැටියට කරන්නේ. මමයි දරුවයි ඒ ආදායමෙන් ජීවත් වෙන්නේ. දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් විදුහල්පතිතුමා ඇතුළුව ආචාර්ය මණ්ඩලය අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු මවුපියන් සියලුමදෙනා මට දරුවට උදවු උපකාර⁣කළා. මේ අවස්ථාවේ සියලුම දෙනාට ස්තුතියි.”

විදුහල්පති ගාමිණී කරුණානායක සහ නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය වඩුවාගෙදර සාරනන්ද හිමිපාණන් වහන්සේ සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගය කඩඉම සමත් මේ දරුවාට උදවු උපකාර කිරීම ඉතා වැදගත් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: