hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:26



සපා ගැනත් ඒවා ඇතුළේ ඉන්න කාන්තා පරාණ ගැනත් විටින් විට අහන්න දකින්න ලැබෙන කතාන්දර බොහෝම යි.

ඔබටත් ඒවා වුවමනා තරම් ඇහැ ගැටිලා ඇති.

එහෙව් කාන්තා පුලුටු ලෝකයෙන් ම වහං වෙලා ගෙවන ජීවිතේ බොහෝම කටුක සහ ගුප්ත එකක්.

මේ තියෙන්නෙ මෑතක එවැනි උදවිය ගැන පුවත්පතක පළවුණු ගවේෂණාත්මක ලිපියක්.

මීට දශක කිහිපයකට ඉහතදී කොළඹට හුරු වූ එක්තරා සංස්කෘතියක් තිබිණි. “වීදි සරන ළඳුන්” නිසා මෙම සංස්කෘතිය ඇති වූ අතර දෙදහ දශකයේ මුල් භාගයේ රන්බණ්ඩා සෙනෙවිරත්න මෙම සංස්කෘතිය ඔහුගේ කෝණයෙන් විමසා බැලුවේ “ළඳුනේ” ගීතය මුළු මහත් සමාජයට දායාද කරමිනි. වත්මන් අපේ පරපුරේ කවියකු වන ටිම්රාන් කීර්ති මෑත යුගයේදී මීට සමාන සංසිද්ධියක් ගැන ගීතයකට නැඟුවේ “පොඩ්ඩියේ” ගීතය සමාජයට තිළිණ කරමිනි.

අප කතා කරන “පුරඟන” පිළිබඳව හෙවත් ගණිකා වෘත්තීය ගැන බෞද්ධ සාහිත්‍යයේ පවා කතිකාවට ලක්ව තිබේ. අම්බපාලි නම් ගණිකාවක් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. ඇයගේ ගම වෛශාලියයි. වෛශාලිය එකල උතුරු ඉන්දියාවේ සමෘද්ධිමත් නගරයක් ලෙස සැලකුණු අතර එම නගරයේ ජීවත් වූ අම්බපාලිය රූමත් තරුණියක් බවට බෞද්ධ වංශකතා සාහිත්‍යය සඳහන් කරයි. ඇයගේ පහස ලබා ගැනීම සඳහා කහවනු 50ක මිලක් ඇය විසින් නියම කර තුබූ බවත් එය එවක විශාල මිලක් බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. එසේම පුරාණ ඉන්දියාවේ ගැහැනියකට “රූමත්” බව යන්න සැපවත් ජීවිතයක් ගත කිරීම සඳහා තිබූු හොඳම ක්‍රමය ලෙසද සැලකේ.

ආසියාතික රටක් වන තායිලන්තයද අද තිබෙන දියුණු මට්ටමට ගෙන ඒම සඳහා “පුරඟනන්” හේතු වූ බවට මතයක් පවතීි.

මීට වසර කිහිපයකට ඉහතදී ලියුම්කරු තායිලන්ත සවාරියක නිරත වූ අතර එහි අතීතාවර්ජනයක් මෙලෙස සටහන් කර තබමි.

තායිලන්තයේ ‘පතායා’ යනු සුරපුරයක් යැයි එහි ගිය ඕනෑම අයකු පවසනු නිසැකය. බැංකොක් නගරයේ සිට පැය කිහිපයක් ඇවෑමෙන් සුන්දර වෙරළ තීරයක් සහිත පතායා වෙත අපි පැමිණියෙමු. පතායාහි කළ පළමු සංචාරය එය වූ අතර අප නඩයට එහි ඇතැම් දේවල් ‘මැජික්’ වූයේ ලංකාව තුළ එවැනි අත්දැකීමක් ලබා ගැනීමට තරම් ස්ථානයක් නොවූ හෙයිනි.

කෑම, බීම, ඉඳුම් හිටුම් ඇතුළු සියල්ලගෙන්ම පිරිපුන් කුඩා නගරයක් වූ පාතායාවෙහි වීදි සරන ළඳුන් වැලි කැට ගාණට දැකගත හැකිය. මෙරට මුදලින් එවක රුපියල් හත්අට දහසේ සිට තායිලන්ත ළඳුන් අලෙවි කෙරේ. මෙය හරියට ඔබ “සුපර් මාර්කට්” යනවා වැනිය. භාණ්ඩයේ මිල බලා එය ඔබට රැගෙන යෑමට අවස්ථාව උදා වේ.

තායිලන්තයේ පතායා නගරයට සමානකම් කියන මෙරට නගරයක් පවතින බව අසා ඇත්ද. මෙය කොළඹ නගරයට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටා ඇත.

මෙය නගරයක් කිව්වට නගර කිහිපයක එකතුවකි. “පැලවත්ත, තලවතුගොඩ, පන්නිපිටිය” නමින් එම නගර හදුන්වයි. මෙම මාර්ග බොහෝ දෙනා හඳුන්වන්නේ 174 බස් මාර්ගය ලෙසටය.

“මහත්තයෝ දැන් මේ පැත්තේ කඩවලට වඩා ගොඩක් තියෙන්නේ “ස්පා”. දීර්ඝ කාලයක සිට එම නගරයේ ජීවත්වන මැදි වයසේ ත්‍රීවීල් රියැදුරකු කීවේ එසේය.

මීට වසර කිහිපයකට ඉහතදී ගන කැලෑ ප්‍රදේශයක් වූ තලවතුගොඩ අවට ප්‍රදේශය අද වන විට ශීඝ්‍ර දියුණුවක් ලැබූ නගරයක් බවට පත්ව ඇත. විශේෂයෙන් මෙකල වීදි ආහාර (Street Foods) සඳහා ප්‍රසිද්ධ කිඹුලාවලද පිහිටා ඇත්තේ මෙම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමිනි.

“අපි දැන් වැඩිය දවල්ට හයර් දුවන්නේ නෑ, ට්‍රැෆික් වැඩියි දවල්ට, තෙල් පිච්චෙනවා විතරයි. හැබැයි රෑ වෙලා මේ පැත්තට දාගත්තොත් හොඳ ‘හයර්’ තියෙනවා. ගොඩක් මහත්තුරු මේ පැත්තේ කොහේ හරි තියෙන රෙස්ට්ටුරන්ට් එකකින් බීලා මෙහෙ කොහේ හරි තියෙන ‘ස්පා’ ඵකකට එනවා. සමහර මහත්තුරු ‘හයර්’ එක හාරසීය නම් දහක්ම දීලා බැහැලා යනවා.” යැයි මේ ගමනේදී හමු වූ ත්‍රීවීල් අයියා මඳ සිනහවක්ද පාමින් අප සමඟ පැවැසීය.

“දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න” යනුවෙන් කුඩා කාලයේ අපි මාර්ගවල පරිස්සමට ගමන් ගන්නා ආකාරය පිළිබඳ ඉගෙන ගත්තෙමු. මේ නගරයට පිවිසෙන අපට දකුණද වමද අදාළ නැත. බැලු බැලු අත ඇත්තේ ‘ස්පාය.’ ඇතැම් ‘ස්පා’ තොරණ වැනිය. මුළු නගරයම රාත්‍රියේ දිස් වන්නේ වෛවර්ණ ආලෝක බුබුළුවලිනි.

මෙම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිය ජීවනෝපායෙහි නිරත වන ත්‍රිරෝද රථ රියැදුරෝද ‘ස්පා’ සංස්කෘතිය තුළ වෙනම ආදායමක් ලබමින් සිටිති. ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන් ස්පාවල තැරැව්කරුවන් ලෙසද කටයුතු කරන්නේ ලැබෙන තැරැව් මුදලද ගැන සිතාය.

“මහත්තයා, හොඳ කෙල්ලො ඉන්න තැනක් තියෙනවා. සමහර වෙලාවට කැම්පස් කෙල්ලොත් ඉන්නවා. මම එතැනට දාන්නම්” ත්‍රීවීල් අයියා ලියුම්කරුගේ ඇම ගිල්ලේය.

මෙය අතුරේ යෑමකි. මන්ද විනෝද වීමට යන අයකු සේ නොව මෙහි තිත්ත ඇත්ත සොයන්න යන මාධ්‍යවේදියකුට මෙම ගමන “ඇඟට ගුණ නැත” මෙම ගමන මොන අතට පෙරළේදැයි කියන්න ලියුම්කරුද නොදනී. එක් අතකින් අපගේ අනන්‍යතාව හෙළි වුවහොත් සැප ලැබීම නොව ඇත්තේ ගුටි කෑමකි.

එහෙත් මෙම සංස්කෘතියෙහි ගැඹුරු ස්ථානවල කිමිදීමට අපට අවශ්‍ය වූ නිසා එම අභියෝගය අපි භාර ගත්තෙමු. මන්ද සිංහල බෞද්ධ සංස්කෘතියක් ගැන කියන අප, මෙම සමාජ ඛේදවාචකයද තේරුම් ගත යුතුව ඇති හෙයිනි.

ත්‍රීවීල් අයියාට පින්සිද්ධ වෙන්න “හොඳ කෙල්ලෝ” ඉන්න තැනකට ලියුම්කරුව රැගෙන ගියේය. මැදි වයසේ පසු වූ ත්‍රීවීල් අයියා “හොඳ කෙල්ලන්” රැඳී සිටින ආලින්දය වෙත ලියුම්කරුව රැගෙන ගියේ එහි කළමනාකරු විසිනි.

තායිලන්ත, පතායා නගරයේ වීදි කාන්තාවන් සැරිසරන ප්‍රදේශයේ ඇති මෙවැනි අඳුරු කුටි තුළට ගොස් ළඳුන් තෝරා ගන්නා ස්ථානද පවතී. වේග රිද්ම සංගීතයද වෛවර්ණ විදුලි බුබුළු මතින් එම ළඳුන්ව තෝරා ගැනීමට එහි පාරිභෝගිකයන් හට හැකියාවක් ලැබෙන අතර එම ළඳුන් හඳුනා ගැනීම පහසු කිරීම සඳහා ඔවුන්ගේ ඇඳුමෙහි අංකයක්ද සඳහන් කර ඇත. සෝෆාවල මඳ හිනාවක් පාමින් සිටින පතායා ළඳුන් සේ මෙහිදී දී දැකගත හැකිය. අප මේ කියන මෙරට නගරයේ මීට සමාන අත්දැකීමක් පාරිභෝගිකයාට ලබාගත හැකි වේ. දැන් ඒ තරමටම එම නගරයේ සම්බාහන මධ්‍යස්ථාන පිහිටා ඇත.

“සර්. අපේ දෙන්නෙක් Busy මේ තුන්දෙනා විතරයි දැනට ඉන්නේ” සම්බාහන මධ්‍යස්ථානය කාර්ය බහුලය. ලියුම්කරු දෑතේ බැඳ ඇති ඔරලෝසුව දිහා බැලුවේය. වේලාව රාත්‍රී 9 පසුවී විනාඩි 20යි.

ලියුම්කරු දැන් සිටින්නේ නුගේගොඩ සිට පැලවත්ත දෙසට ඇති ප්‍රධාන මාර්ගයේය. ත්‍රිරෝද රථ රියැදුරු අයියාගේ මිත්‍රයකු යැයි සඳහන් කරමින් එම සම්බාහන මධ්‍යස්ථාන කළමනාකරුවාව ලියුම්කරුට හ¾දුන්වා දුන් අතර ඔහුද මැදි වයසේ පසු වූ අයකු විය.

“කමක් නෑ මං පොඩි වෙලාවක් ඉන්නවා. ඉතුරු දෙන්නවත් බලමු” ලියුම්කරු යෝජනා කළේය.

“හරි මහත්තයා එහෙනම් මෙතන වාඩිවෙලා ඉන්න”

විමසීම් කවුන්ටරය අසල වූ අසුනක හිඳගත් ලියුම්කරුට එම කෙටි වේලාව තුළ එම සම්බාහන මධ්‍යස්ථාන කළමනාකරු සමඟ අල්ලාප සල්ලාපයේ නිරතවීමට අවස්ථාව හිමිවිය.

“මේ ටිකේම පොලිසියෙන් පැන්නා මහත්තයා. කඩුවෙල පැත්තේ ඔක්කොම ‘ස්පා’ නතර කළා. අපිත් දෙපාරක් විතර ‘ඇරස්ට්’ වුණා. දැන් මේ වැඩේ කරන්නත් හරි අමාරුයි. ඒ අස්සේ මේ ළඟදී පොලිසියේ කියලා එකෙක් ඇවිල්ලා නොමිලේ කෙල්ලෙක්ව ඉල්ලුවා. උෟ හොඳටම බීලා හිටියේ. එහෙම නිකං මේවා ඇතුළට එන්න දෙන්න බෑ මහත්තයෝ. මං උෟට මේකෙ ඇතුළට නිකං යන්න දෙන්න බෑම කිව්වා. යකෝ අපි වැඩ කරන්නේ පොලිසියේ, මට Free Service එකක් දීපන් කියලා ඉණෙන් ගිනි අවියක් ඇදලා මගේ ඔළුවට තිබ්බා. මම ඕවට බය මිනිහෙක් නෙමේ මහත්තයෝ. මං උෟට කිව්වා මාත් ආමි එකේ ඉඳලා ඇවිල්ලා ඉන්නේ කියලා. මාත් යුද්ධ කාලේ හොඳට බොඩි අතපත ගෑව එකෙක්”

මෙහි බොහෝ සම්බාහන මධ්‍යස්ථානවල කළමනාකරුවන් ලෙස රැකියාවට එන බහුතරයක් දෙනා හිටපු ආරක්ෂක අංශවල සාමාජිකයන්. නැතිනම් ආරක්ෂක අංශවලින් පලාවිත් සැඟවී සිටින පිරිස්.

මා ඔහු සමඟ අල්ලාප සල්ලාපයේ යෙදී සිටින අතර කළුපැහැ කබායක් ඇඳ ගත් කොල්ලකු සම්බාහන මධ්‍යස්ථානය තුළට ඇතුළු වූයේ කිසිදු අවසරයකින් තොරවය.

“අයියේ කවුද කට්ටිය ඉන්නේ.” ඔහු පැමිණි වේගයෙන්ම විමසීය.

“දැන්නම් ඉන්නේ මේ තුන්දෙනා විතරයි. දෙනෙක් Busy”

ජංගම දුරකථන ඔබමින් සිටි සම්බාහන මධ්‍යස්ථාන සේවිකාවන් තිදෙනා දත් විරිත්තා ඔහුට සිනාසුණේය.

“අයියේ, කොහොමද වැඩේ යන්නේ.”

“entrance 1500යි, tip එක1500, Full එක 6000 යි”

කළමනාකරු මිල ගණන් පැවැසීය.

පැමිණි වේගයෙන්ම තරුණයා ඉන් පිට වී ගියේ හාවක් හූවක් නොමැතිවය.

සම්බාහන සේවිකාවන් තිදෙනා යළිත් ඔවුන්ගේ ලෝකයට පිවිසියේ ජංගම දුරකථනය අතට ගනිමින් විරිත්තූ දත් ටිකද වසං කර ගනිමිනි.

කාර්ය බහුල ළඳුන් පැමිණෙන තෙක් ලියුම්කරු තවදුරටත් මඟ බලාගෙනය.

මේ වේලාව අතරතුර පමණක් කිහිප දෙනකුම සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළු වී එහි සිටි තරුණියන් දෙස බලා මිල ගණන් විමසා ඉන් පිටව ගියහ. එලෙස එන ආගන්තුකයන්ට කළමනාකරුද මන්තරයක් සේ එකම කතාව ජප කරයි.

සම්බාහන මධ්‍යස්ථානවලට අදාළව පාරිභාෂිත වචන ඇත. ඉන් රුපියල් එක්දහස් පන්සියයක් ලෙස පළමුවෙන් දක්වන්නේ සම්බාහන මධ්‍යස්ථානයට අදාළ ඇතුළත්වීමේ ගාස්තුවයි. Tip එක යනුවෙන් හදුන්වන්නේ අදාළ සම්බාහන සේවිකාවක්ට ලබාදිය යුතු මුදලයි. සම්බාහන ක්‍රියාව සතුටුදායි අවසානයකින් නිම කිරීම සඳහා එම ගාස්තුව ඇය අය කර ගනී.

Full Service එක යනුවෙන් හදුන්වන්නේ ඇයගෙන් උපරිම සේවාවක් ලබා ගැනීමය.

අඳුරු ආලින්දයකට වී කල් මරමින් සිටි ලියුම්කරු තවත් තරුණියක ‍ෙදාරකින් පිටතට එනු දුටුවේය. ඇය පිටුපසින් ආ මැදි වයසේ අයකු කඩිමුඩියේ පැමිණ අප අසලින් වූ ‍ෙදාරටුව කරා ගොස් පිට වී ගියේය.

සර්, මේ ඉන්නේ ‘මධූ’. මෙයා හොඳයි. ළඟදි ආවේ. කළමනාකරු ලියුම්කරුට ඇයව හඳුනා දුනි.

ඇය මඳ සිනාවක් හෙළුවාය. ඒ සිනහව තුළ ඔබ දුටුවේ රාගය නම් ඔබ ඉදිරියේ දකින මෙම අකුරු රටා ඔස්සේ ඇයගේ ජීවිතය තේරුම් ගනීවි යැයි විශ්වාස කරමි.

සම්බාහන මධ්‍යස්ථානයට ඇය ‘මධූ’ ලෙස නම් දැරුවාට ඇයගේ සත්‍ය නම එය නොවන බව පැහැදිලිය. කොටට ඇඳ කියුටෙක්ස් ලිප්ස්ටික්ස් තැවරුවාට ඇය කුරුඳුවත්තේ ළඳක් නොවේ. ඇයගේ ගම් පළාත බේරුවල බව පසුව දැනගතිමි.

“මහත්තයා, මම මේ වැඩේට අලුත්.” පොඩි ‘ලැජ්ජාවක්ද’ සමඟින් ඇය කතාව පටන් ගත්තේය.

මේ ඇයගේ කතාවයි.

මං ගාමන්ට් එකක වැඩ කළේ. පස්සේ ගාමන්ට් එකේ යාළුවෝ ‘ඔන්ලයින්’ බිස්නස් එකක් කරමු කියලා මට කිව්වා. ඩොලර්වලින් සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා. මාත් එක්ක වැඩ කළ කිහිප දෙනෙක්ම ඒ ඔන්ලයින් වැඩේට බැඳිලා හිටියේ. ඒ දවස්වල මාසෙට එයාලට අමතරව පනස් දහකට වඩා සල්ලි වැටිලා තිබුණා. ඒක වෙනස් වෙනවා මම දාන සල්ලි ප්‍රමාණයත් එක්ක. අපේ අයට ලොකු සල්ලියක් දාන්න බෑ. ඒ නිසා මාසෙට විසි තිස් දාස් ගාණක් හොයපු අයත් හිටියා.

“ඉතිං ඔයාට සල්ලි කොහෙන්ද?”

පස්සේ මාත් ‘ඔන්ලයින්’ බිස්නස් එකට සෙට් වුණා. ඒක බිස්නස් එකක් කිව්වාට වෙබ් එකකට ගිගින් දැන්වීමක් තෝර ගන්න තියෙන්නේ. ඒකට තමයි මිලක් දෙන්නේ. මුල් කාලේ මට ඕක තේරුම් ගන්න අමාරු වුණා. පස්සේ වැඩේ අල්ල ගත්තා. මං මුලින්ම පනස් දහක් දැම්මා. ඒ ගාණ මං මාස එකහමාරකින් හෙව්වා.

පස්සේ මං අම්මාගේ රත්තරන් බඩු ටිකයි මගෙ කර මාලෙයි උකස් කරලා ලක්ෂ දෙකක් ගත්තා. අම්මාගේ තාත්තාගේ මඟුල් මුද්දත් එතැන තිබුණා.

මධූගේ පියා ඇය කුඩා කාලයේදීම ජීවිතයෙන් සමුගෙන ඇති අතර පසුව පවුලේ බර කරට ගැනීමට ඇයගේ මවට සිදු විය. 24 හැවිරිදි මධූගේ මව දරුණු රෝගාබාධයකට ගොදුරුව සිටින අතර දැන් පවුලේ බර පැටවී ඇත්තේ මධූටය.

“මාත් තව ගමේ යාළුවෝ තුන් දෙනෙක් මේ ‘ඔන්ලයින්’ වැඩේට සෙට් කළා. මට ලොකු ගාණක් හොයන්න ඕන නිසා ලක්ෂයක් මුලින්ම වැඩේට දැම්මා. සතියක් වගේ ඇතුළත ඉතිරි ලක්ෂයත් දැම්මා.

ඇයගේ ‘ඩොලර් සිහිනය’ සුනු විසුණු වී යන්නේ උදේ ඇහැරෙන විට ඔවුන් ගනුදෙනු කළ ටෙලිග්‍රෑම් ‘සමූහයෙන්’ එහි අයිතිකරුවන් ඉවත් වී ඇති බවට ‘සමූහය ඔස්සේ’ සෙසු පිරිස් සංවාදයේ නියැළීමත් සමඟය. පිටරට සුද්දාගේ අම්මා මුත්තා මතක් කරමින් ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් කිහිපයක උදවිය එහි සංවාදයේ නිරත වෙමිනි.

“අයියෝ මගේ ලක්ෂ දෙක” සුප්‍රසිද්ධ ‘ඔන්ලයින්’ පිරමීඩ ජාවාරමකට ගිය මධූට අවසානයේ සිය මවගේ රන් භාණ්ඩ බේරා ගැනීම සඳහා පන්නිපිටියේ සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ඒමට සිදු වූවා.

ඇය කන්‍යාවියක් බව ඔබ පිළි නොගත්තත් ඇත්තෙන්ම ඇය කන්‍යාවියකි. ඇයගේ සේවය සම්බාහනය පමණි. රාත්‍රි සේවයට පැමිණෙන ඇය පාන්දර 5ට බෝඩිම වෙත පිටත්ව යන්නීය. ඒ යන විට ඇය රුපියල් පහළොස් දහසකට ආසන්න මුදලක් රැගෙන යයි.

අම්මා හිතන් ඉන්නේ මං කඩුවෙල පැත්තේ ගාමන්ට් එකක වැඩ කියලා. සතියට දෙපාරක් ගෙදර ගිහිං අම්මාට සල්ලි දීලා එනවා. මං තව පොඩි දවසයි මේකේ වැඩ කරන්නේ.

මෙවැනි වූ මධූලා මේ වීථී පුරා සිය ගණනින් සිටින බව මෙම රස්තියාදුවේදී ලියුම්කරුට පෙනී ගියේය.

මධූගේ තොරතුරු මත ඇයගේ තවත් යෙහෙළියක හමු වූයේ ඇය සිටිනා සම්බාහන මධ්‍යස්ථානයට නුදුරු තවත් එවැනිම ස්ථානයකදීය.

එයත් හොඳයි. එයා නම් Full Service එක දෙනවා. ඒ කීවේ මධූය.

තවත් දිනක රාත්‍රියක් ඇයව සොයා ගැනීමට ලියුම්කරු 174 බස් පාර දිගේ ඇවිද ගියේය.

ඇයව සම්බාහන මධ්‍යස්ථානය තුළ හඳුන්වන්නේ ‘බට්ටි’ කියාය.

‘මධූ’ ඔයා ගැන කිව්වා, අඳුරු ආලින්දයේදී ඇයව මුණ ගැසුණි. මේ ඇයගේ කතාවයි.

මාධ්‍යවේදියකුට සම්බාහන මධ්‍යස්ථානයක් තුළ සිදු කිරීමට ඇති සම්මුඛ සාකච්ඡාව අමුතුය. ඇය මාව නොදනී. බොරු ගොඩක් අස්සෙන් සම්බාහන ලියන් ඔවුන්ගේ ජීවිතයද අතරින් පතර කියයි. ඔවුන්ව කතාවට අවුස්සා ගැනීම පාරිභෝගිකයාගේ හපන්කමයි.

මේ ලියන්නේ ඇයගේ කතාවයි. ‘බට්ටි’ යනුවෙන් ඇයව හඳුන්වන්නේ ඇය ඇඟපතෙන් පොඩි නිසාය. අපිද ඇයව ඒ නමින් හඳුන්වමු.

“දැන් ගොඩක් කෙල්ලෝ අයියේ පීරමීඩ සීන් එකෙන් නැතිභංග වෙලා ‘ස්පා’ වල වැඩ කරනවා. මායි මධූයි එකම කාලේ මේවට එන්නේ. මට දැන් 28යි. මං අවිස්සාවේල්ලේ. ගොඩක් අපේ කෙල්ලෝ ‘ඔන්ලයින්’ පිරමීඩවලට අහු වුණා. හැබැයි ගිය අවුරුද්දේ හොඳට මේකෙන් සල්ලි හොයපු අය ඉන්නවා. මාත් යාළුවෙක් කියපු නිසා සල්ලි දැම්මා. සියයට 30 පොලියට මං ලක්ෂයක් අරන් මේ ඔන්ලයින් වැඩේට දැම්මා. මාසයක් ගියේ නෑ උන් ඒක වැහුවා”

ඇය ඒක ‘වැහුවා’ යන්නෙන් අදහස් කළේ ගිණුම අත්හිටුවීමයි,

ඔන්ලයින් ‘පිරමීඩවලට’ ගොඩක් යන්නේ නව මාධ්‍ය ගැන පොඩි හෝ දැනුමක් ඇති අයයි. මන්ද ඔවුන් ස්මාර්ට් ජංගම දුරකථන ඔස්සේ ගිණුම් සාදාගෙන වට්ස්ඇප්, ටෙලිග්‍රෑම් සමූහ සාදාගෙන ඩොලර් ඉපැයීම සඳහා සිහින මවයි.

“ඊට පස්සේ අපි ඔක්කොම සෑහෙන්න හිර වුණා. ගෙදරට මේ දේ කියන්නත් බෑ. මං කාලයකට කලින් ස්පාවල හිටියා. පස්සේ මං බැන්දා. දැන් හස්බන්ඩ් රට ඉන්නේ.” ඇයගේ පෞද්ගලික ජීවිතය ඇය ටිකින් ටික අප ඉදිරියේ දිගහැරියේය.

“මේ ගැන එයා දන්නෑ. පස්සේ මං ආයේ තලවතුගොඩ ‘ස්පා’ එකක යාළුවෙක් හරහා මේ තැනට ආවා. මෙතන හොඳයි. නයිට් එකට ෆුල් තුන හතරක් එනවා. සමහර සර්ලා ටිප් එකම තුන් හාරදාහක් දෙනවා” සමහර ‘වෙරි වෙච්ච’ සර්ලා පන්දාහේ කොළත් දෙනවා. ඇය සිනාසුනාය.

“දැන්නම් මං ණයයි පොලියයි දෙකම ගෙවලා ඉන්නේ. මේ වැඩේ හොඳයි කරපු ඔෆිස් රස්සාවට වඩා”

ඇයගේ බොහෝ රාත්‍රිවල ආදායම රුපියල් විසිපන්දහස පනී. මේ වන විට ඇය සල්ලි හෙවීමට ඇබ්බැහි වී හමාරය.

ඔවුන් දිවා කාලයේ බෝඩිම්වල නිදිය. රාත්‍රියට මුදල් සොයන්නීය. ඇතැම් තරුණියන්ට බෝඩිම් ලබා දෙන විවිධ මහත්වරුද වෙති. ඒ ගැන පසුව ඔබට කියමි.

මේ ගමනේ අපට ‘පිරමීඩ’ ජාවාරමට හමුවූ ‘ස්පා’ ළඳුන් කිහිප දෙනෙක් හමු විය. ඒ නිසා මේ කතාව මින් හමාර කරමි. ඔවුන්ගේ පිරමීඩ කතාව එක හා සමානය. පිරමීඩ ජාවාරමේ අප නොදුටු පැත්තක් මෙසේ හෙළි විය. මේ ඇතුළත වෙනම සමාජ ඛේදවාචකයක් සැඟවී ඇත.

මෙම ගමනේදී අපට හමුවූ බහුතරයක් ‘අද පෙරළුණු පැත්ත හොඳයි’ කියා ස්පාව රැකියාව කොට ජීවත් වෙති. මින් බහුතරයක්ම කොළඹින් පිට අය ය. එයින් බහුතරය පවුල් ප්‍රශ්න ඇති, එසේම අගහිඟකම් ඇති අයයි.

මේ අතර ඇතැමුන් මත්පැන් හා අයිස්වලට තදින් ඇබ්බැහි වී ඇත. දැන් මේ තුළ ඇත්තේ වෙනම ජාගර සංස්කෘතියකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: