hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:00



කුඩා කල සිට ඇසුරු කළ යහලුවාගේ බිරිඳ සමග හොරෙන් පෙම් සුව විඳ තම දරුවන්ද අමතක කොට ඇය සමග වෙනම පවුල් ජීවිතයක් ගත කිරීමට ගිය මිතුරකු පිළිබඳ හේවාහැට කොළඹිස්ස ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා.

එකම ගමේ සල්වැසියන් වූ මෙම දෙදෙනා වැලි කෙළියේ පටන් මිතුරන් වූ අතර පාසලේද එකම පන්තියේ අකුරු කළහ.

පාසල් අධ්‍යාපනය නිමා වී කල වයස පැමිණීමත් සමග දෙදෙනාම විවාහ වූ අතර, දෙදෙනාගේ මිතුරුකම නිසා බිරින්දෑවරු ද හොඳම මිතුරියෝ වූහ.

කාලයත් සමග ඒ මිතුරෙකුට දරුවන් දෙදෙනෙකු ද, අනෙක් මිතුරාට එක් දරුවකු ද සිටින අතර, විනෝද ගමනක් ගියත් මේ නිවෙස්වල හෝ ඥාතීන්ගේ නිවසක තිබුණු කුමන හෝ දෙයකට හතර දෙනාම එකටම සහභාගි වීම කැපී පෙනන දෙයක් විය.

හදිසියේම එක් මිතුරෙකුට කොළඹ ප්‍රදේශයේ රැකියාවකට යාමට සිදුවූයෙන් අනෙක් මිතුරාට පැවසුවේ “මචං මං කොළඹ රස්සාවක් කරන්න යනවා. හදිසියක් වුණොත් දරුවන්ටයි ගෑනිටයි උදව් කරපන්.”

“ඕක කියන්න දෙයක්ද? උඹ බයනැතුව කොළඹ පලයන් මම ඕන උදව්වක් කරන්නම්” මිතුරා පැවසීය. පොරොන්දු වූ පරිදි මිතුරා ද කොළඹ ගිය මිතුරාගේ නිවසේ සියලු දේට උදව් කරමින් කල් ගෙවූ අතර, කාටත් හොරා දෙදෙනා අතර ප්‍රේමයක් හටගත්තේය.

දෙදෙනාට දෙදෙනා නැතුවම බැරි මට්ටමකට පැමිණි නිසා කොළඹ ගිය මිතුරාගේ බිරිඳ ඇගේ ස්වාමියාට ලිපියක් ලියා තබා දෙදෙනාගේම දරුවන්ද අමතකකොට ගමේ මිතුරාත් සමග වෙනම පවුල් ජීවිතයක් ගත කිරීමට යන බව පවසා දරුවන්ද නිවසේ දමා හොර රහසේම ගොස් ඇත.

සිද්ධිය ආරංචි වූ කොළඹ සිටි මිතුරා වහාම ගමට පැමිණ ගමේ තනිවූ මිතුරාගේ බිරිඳ සමග එකම ත්‍රිරෝද රථයේ නැගී ගලහ පොලිසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කොට ගමට පැමිණ ඇත.

එය තවත් ප්‍රේමයක ආරම්භයක්ද යන්න දැන් ගමේ හුමුළුවල කවුරුත් කසු කුසු ගාමින් සිටී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: