hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 18, පෙ.ව. 10:50



“හිතුමතේ ජීවිතේ” නමින්  ප්‍රසිද්ධව සිටි තම සහෝදරයා පවසා ඇති පරිද්දෙන් ඔහු කිසිම දිනෙක කිසිවකු හෝ ඝාතනය කළ අයකු නොවන බවත්, ඔහුගේ එකම නැඟණිය කිසියම් පිරිසක් විසින් ඝාතනය කළ බවට ඔහු මාධ්‍ය හරහා ප්‍රචාරය කළත් ඔහුට සිටින එකම නැඟණිය තමා බවත්, මියගිය බටුගහගේ ‍ෙදාන් රංජිත් කරුණානන්ද නොහොත් “හිතුමතේ ජීවිතේ” නමැත්තාගේ එකම සහෝදරිය වන බටුගහගේ ‍ෙදාන් චන්ද්‍රානී පෙරේරා මහත්මිය පැවැසුවාය.

ඇය මේ බව කියා සිටියේ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බටුගහගේ ‍ෙදාන් රංජිත් කරුණානන්ද  නොහොත් “හිතුමතේ ජීවිතේ” නමැත්තාගේ  මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින්.

මියගිය පුද්ගලයාගේ මෘතදේහය පිළිබඳ  හදිසි මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ විසින් කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී 16දා පැවැත්වුණා.

එහිදී මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය කේ.කේ.ටී. කල්හාර ජයවීර විසින් නිකුත් කෙරුණා.

එහිදී තවදුරටත් සාක්ෂි ලබාදෙමින්, දංකොටුව, රන්සියගම  පදිංචි  බටුගහගේ ‍ෙදාන් චන්ද්‍රානී පෙරේරා මෙසේද සඳහන් කළා,

“තුඩුවගේ ‍දොන් අමලින් සෝමාවතී සහ බටුගහගේ ‍දොන් මාටින් පෙරේරා යන මගේ මවුපියන්ට පුතුන් තිදෙනකු සහ එකම දියණියයි සිටියේ. පවුලේ එකම දියණිය මමයි. මා ඉපදුනේ වාද්දුව, මොරොන්තුඩුව ප්‍රදේශයේදී. මේ මියගොස් සිටින්නේ මගේ පවුලේ දෙවැනි අයියා. ඔහු අවිවාහකයි. ඔහු කුඩා කල සිටම හරිම හිතුවක්කාරයි. ගෙදරින් තරහා වෙලා පාසල් යන කාලයේ සිටම නිවෙසින් පිට වෙලයි හිටියේ. ඒත් තාත්තා ගිහින් අවස්ථා කිහිපයකදී නිවෙසට රැගෙන ආවත් ඔහු නිවසේ රැඳී සිටියේ නෑ. ඒත් අවස්ථා කිහිපයකදී විටින් විට නිවෙසට පැමිණ අපි සමඟ කතා බස් කොට නැවත පිටව ගියා. ඒ කොහොම වුණත් ඔහු කුඩා කාලයේ සිටම හරිම හිතුවක්කාරයි.

මේ අතරතුරදී තමයි හිතුමතේ ජීවිතේ නමින් මාධ්‍ය හරහා ප්‍රසිද්ධව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් කියලා තිබුණේ. එහිදී ඔහු පවසා තිබුණේ කළුතර ප්‍රදේශයේ පැවැති බක්මහ උළෙලකදී අවුරුදු කුමාරිය ලෙස කිරුළුපලන් තම එකම නැඟණිය පොලිස් නිලධාරියකු විසින් පැහැරගෙන ගොස් දූෂණය කොට මරා දැමූ බවත් පසුව ඊට සම්බන්ධ පොලිස් නිලධාරියා ඇතුළු පිරිසක් මොහු විසින් ඝාතනය කොට සිරගතව සිටි බවයි. එහෙත් ඔහු පවසන පරිදි මිනීමැරුම් කිසිවක් අපි දන්නා තරමින් කරලා නැහැ. හැබැයි සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් නම් ඔහු සිරගතව සිටි බව අපිට දැනගන්න ලැබුණා.

ඒ කොහොම  වුණත් ඔහුගේ එකම නැඟණිය ඝාතනය කළ බව පැවැසුවද එවැන්නක් සිදුවී නැහැ. ඔහුට සිටි එකම නැඟණිය මමයි. ඔහු පසුගිය කාලයේ බොරලැස්ගමුව  ප්‍රදේශයේ පදිංචිව සිටියදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. මේ බව දැනගත් මගේ අයියා කෙනෙක් තමයි මට කෝල් කරලා කිව්වේ දෙවැනි අයියා මිය ගිහින් කියලා. ඒ අනුව කළුබෝවිල රෝහලට පැමිණ අයියාගේ දේහය හඳුනා ගත්තා. මරණය පිළිබඳ කිසිදු සැකයක් නෑ. දේහය අපි බාරගන්නවා.”

එහිදී මියගිය පුද්ගලයාගේ බාල සහෝදරයා වන  වාද්දුව, දෙල්දූව, කෝපියාවත්තේ පදිංචි බටුගහගේ ‍ෙදාන් ආනන්ද පෙරේරා (64) සාක්ෂි දෙමින් මෙසේ කියා සිටියා,

“මට  සහෝදරයන් දෙදෙනකු සහ බාල සහෝදරියක් ඉන්නවා. මේ මියගොස් සිටින්නේ පවුලේ දෙවැනි සහෝදරයා. ඔහු විවාහ වෙලා නෑ.

“කුඩා කල සිටම පවුලෙන් ඈත් වෙලයි ඔහු ජීවත් වුණේ. හරිම  හිතුවක්කාරයි පොඩි කාලේ ඉඳලම. දැනට වසර පනහක පමණ සිට හිතුමතේ ජීවිතේ   කියලා පපුවේ නමක් කොටා ගෙන තමයි ඔය මාධ්‍ය හරහා  විවිධ දේවල් කියමින් ඔහු  ප්‍රසිද්ධ වුණේ. එහිදී තමයි නංගි දූෂණය කරපු පිරිසක් මරා දැමූ බවට ඔහු කියලා තිබුණේ. එත් අපි දන්නා තරමින් නම් ඔහු කවදාවත් ඒ වගේ මනුෂ්‍ය ඝාතන  කරලා නෑ. ඔහුගේ එකම නංගී මරා දැමූ බව කිව්වත් ඇය තවමත් ජීවතුන් අතර ඉන්නවා. මේ අතරෙදි තමයි මගේ බිරිය දැකලා  තිබුණේ අයියා කළුබෝවිල රෝහලේදී මිය ගිය පුවතක් අන්තර්ජාලයේ තියෙනවා. ඊට පස්සේ තමයි අපි රෝහලට ගියේ. එහිදී අපි අයියාගේ දේහය හදුනා ගත්තා. මරණය පිළිබඳ කිසිදු සැකයක් නැහැ. මළ සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට අපේ අකැමැත්තක් නෑ. මෘතදේහය අපි භාර ගන්නවා”