hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 19, ප.ව. 3:36



මහනුවර දිගන ප්‍රකට කෝටිපති මංගල ගුණවර්ධන හෙවත් දිගන මංගලගේ දිවි නසා ගැනීම පොලිස් විමර්ශනවලටද ගැටලුසහගත වී තිබෙනවා.

ඒ ඔහු දිවි නසාගෙන මියයෑමට හේතුව තවමත් අනාවරණය නොවීමයි.

පෙම් පලහිලව්වක් හේතුවෙන් මෙම වෙඩි තබා ගැනීම සිදු වී ඇතැයි කියැවෙන තොරතුරුද මේ වන විට පොලිසියට ලැබී තිබෙනවා.

ඉකුත් 16 වැනිදා දහවල් මංගල ගුණවර්ධන  සිය දිවි හානි කරගෙන තිබුණේ නීත්‍යනුකූලව ඔහු භාරයේ වූ රිවෝල්වරයකින්.

සිද්ධිය වූ අවස්ථාවේ ඔහුගේ කාමරයේ තිදෙනකු සිට තිබෙනවා.

ඉන් දෙදෙනෙක්ම කාන්තාවෝ. මංගල හිසට වෙඩි තබාගෙන ඇත්තේ ඔවුන් ඉදිරියේ බව කියැවෙනවා.

බරපතළ ලෙස තුවාල ලැබූ මංගල මහනුවර රෝහලට රැගෙන ගොස් ඇත්තේ කාමරයේ සිටි තරුණියක් හා රියැදුරායි.

රෝහලට ඇතුළු කරන විටත් ඔහු මියගොස් සිට තිබෙනවා.

මංගල සතුව විශාල මුදල් ධනස්කන්ධයක්ද, දේපළද තිබී තිබෙනවා.

මිලියන ගණනින් පොලියටද දී තිබෙන ඔහු ඒ වෙනුවෙන් ඔහු ඉඩම්, යානවාහන, ගොඩනැඟිලි සිය භාරයට ගෙන තිබෙනවා.

මංගල මියගිය අවස්ථාවේද ඔහු සතුව තිබූ වාහන අංගණයක එසේ ලබාගත් වාහන 50ක් පමණ තිබී ඇතැයි වාර්තා වෙනවා.

පක්ෂ – විපක්ෂ දේශපාලනඥයන් බොහොමයක් ඇසුරු කළ ඔහු ඔවුන් සඳහාද අත දිග හැර වියදම් කර ඇති බව ප්‍රකටයි.

මංගල විවාහක තිදරු පියෙක්.

දෙදෙනෙක් දියණියෝ. අනෙක් දරුවා පුතෙක්.

මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක්ද පවත්වාගෙන ගිය මොහු තෙල්දෙණිය නගරය කේන්ද්‍ර කරගෙන පිහිටි පල්ලේකැලේ, කෙංගල්ල පන්සල පාරේ බිරිය සහ දරුවන් සමඟ ජීවත් වී තිබෙනවා.

කෙසේ වෙතත්, මංගලගේ හදිසි දිවි නසා ගැනීම විමර්ශන නිලධාරීන්ට මහත් ගැටලුකාරී වී තිබෙනවා.

ඔහු දිවි නසා ගත්තේ මූල්‍ය අර්බුදයක් නිසාද පෞද්ගලික ප්‍රශ්නයක් හෝ ව්‍යාපාරික ගැටලුවක්ද නැත්නම් පෙම් පලහිලව්වක් නිසාද යන්න නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා තෙල්දෙණිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි පළිහවඩන මහතාගේ උපදෙස් පරිදි පැති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කෙරෙමින් තිබෙනවා.

මරණය සම්බන්ධයෙන් පැතිර යන කටකතා ඔස්සේද විමර්ශන සිදු කෙරෙයි.

මංගල සිය කාර්යාලයේ සේවිකාවක් සමඟ සබඳතාවක් පවත්වාගෙන ගිය බවත් ඔහු ඇයට තෑගිබෝග පවා ලබාදී ඇති බවත් කියැවෙන තොරතුරක්ද පොලිසියට ලැබී තිබෙනවා.

සිද්ධිය වූ අවස්ථාවේ, උඩු මහලේ සේවය කරමින් සිටි තැනැත්තියක් ලියකියවිලි කිහිපයකට අස්සන් ලබා ගැනීමට මංගලගේ කාර්යාලයට පැමිණ ඇතැයි පැවැසෙනවා.

ඒ මොහොතේ තවත් කාන්තාවක් මංගලගේ කාමරයට ඇතුළු වී ඇත්තේ නොසරුප් වචනයක් කියමින්.

මංගල වෙඩි තබා ගෙන ඇත්තේ ඒ මොහොතේ.

ඒ නිසා මංගලගේ වෙඩි තබා ගැනීම පෙම් පලහිලව්වක් නිසා සිදුවූවක් යැයි සැක කරන පොලිසිය මංගල වෙඩි තබා ගන්නා අවස්ථාවේ ඔහුගේ කාමරයේ රැඳී සිටි කාන්තාවන් දෙදෙනාගෙනුත් සේවකයාගෙනුත් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කර තිබෙනවා.

ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසුවේ එම කාන්තාවන් දෙදෙනා අතරද කිසියම් අමනාපයක් තිබී ඇති බවයි.

පල්ලෙකැලේ නගර මධ්‍යයේ පිහිටි මහල් තුනකින් යුතු ‘හයිලන්ඩ් ඒජන්සි’ නමැති ගොඩනැඟිල්ලේ පිහිටි සිය කාර්යාලයේදී ඔහු මෙලෙස වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබබුණා.

කෙසේ වෙතත් දිගන මංගල වෙඩි තබා ගැනීමේ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.