hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 30, පෙ.ව. 10:10



2023 වර්ෂය ආරම්භ වන්නේ ප්‍රධාන ග්‍රහ මාරු 3 ක් සමඟිනි. එනම් අවුරුදු 30 කට පසු සෙනසුරු ග්‍රහයා කුම්භ රාශියට 2023 ජනවාරි 17 සවස 06.03 ට පැමිණිමත් වසර 12 කට පසු ගුරු ග්‍රහයා මේෂ රාශියට අප්‍රේල් 22 උදේ 05.13 ට පැමිණීමත් රාහු සහ කේතු මීන හා කන්‍යා රාශිවලට අවුරුදු 18 කට පසු ඔක්තෝබර් 30 සවස 05.55 ට පැමිණීමත් ය.

මීට අමතරව අනෙකුත් ග්‍රහයන් කිහිපවිටකදීම තම රාශි මාරු කරමින් ගෝචරයේ යෙදී සීටී. එසේම සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ පොදුවේ 4 ක් ඇති වන අතර ග්‍රහ යුද්ධ 11 ක් මෙම වසර තුළ ඇති වේ. පොදුවේ ගත් කල ශ්‍රී ලංකා කේන්දරයට ලග්න ඒරාෂ්ඨක කාලය උදාව පවතින අතර නමුත් පසුගිය වර්ෂවලට සාපේක්‍ෂව යහපත් වර්ධනයක් දැකගත හැකිය. නමුත් බොහෝ බාධක මධ්‍යයේ ගමන් කළ යුතුවේ. බොහෝ දේ ලබාගත හැකි වන්නේ දැඩි උත්සාහය හා කැපකිරීම් මතය. දැහැමිව ජීවත් වීමට හා උපරිම උත්සාහයෙන් කටයුතු කර ජයග්‍රහණ ලබා ගැනීමට කටයුතු කළ යුතු ය.

මේෂ – ධන උරුමයක්

මේෂ ලග්නයෙන් උපන් ඔබ ඉතාමත් දක්‍ෂ ක්‍රියාශීලී මෙන්ම උපක්‍රමශීලී අය වේ. ඕනෑම අභියෝගයක් පහසුවෙන් ජය ගත හැකි ඔබගේ ජීවිතයේ වාසනාවන්තම වසර මෙය කර ගැනීමට උත්සාහවන්ත විය යුතුය. අවුරුද්ද ආරම්භයේ දීම ලග්නාධිපති ධනස්ථානයේ ගත කිරීම යහපත් ය. ලග්නාධිපති හා යෝගකාරක ග්‍රහයන් ලග්නය මැදිකරගෙන තිබීම නිසා ඕනෑම අභියෝගයක් බුද්ධියෙන් විමසා ජයග්‍රහණය ළඟා කර ගත හැකිය.

ධනය:- තරමක් බාධා වසර මුල් කාලයේදී උදා වනු ඇත. නමුත් වසර මැද භාගයේදී ගුරු ලග්න ගත වීමත් සිකුරු ග්‍රහ යුද්ධ වලින් ජයග්‍රහණ ලබා ගැනීමත් නිසා ඔබට වාසනාවන්ත ධන උරුමකම් ඇති වනු ඇත.

රැකී රක්‍ෂා:- වසර මුල් කාලයේදී රැකියා කටයුතු වලින් යහපත් තත්ත්වයන් මතු කරයි. උසස්වීම් වලට ද ඉඩ ඇතත් මැද බාගයෙන් පසුව තරමක් ගැටලු සහගත තත්ත්වයන් මතුවිය හැකිය.

අධ්‍යාපනය:- ඉතාමත් උත්සාහයෙන් කටයුතු කර ජයග්‍රහණ ලබාගත යුතු ය. සමහර අවස්ථාවලදී ඔබ යන රටාවට වෙනස්ම අධ්‍යාපන කටයුත්තකට යොමු විය හැකිය.

සෞඛ්‍යය තත්ත්වය:- බොහෝ විට හිස ආශ්‍රිතව වේදනා කැක්කුම් ඇතිවිය හැකිය. එසේම කකුල්වල පහළ කොටසේ වේදනා වසර අවසානයේ ශල්‍යකර්මවලට පවා යොමුවීමේ පිහිටීම් ඇති නිසා ප්‍රවේශම් වීම යහපත්ය.

අය – 02 වැය – 14, ශුභ දින – ඉරිදා / අඟහරුවාදා / බ්‍රහස්පතින්දා, ශුභ වර්ණ – රතු, නිල්, කහ

වෘෂභ – ධන හානි

ඔබ මිල මුදල් ඉතිරි කිරීම් සහ සැලසුමකට වැඩකළ හැකි පොදු යහපත ගැන සිතන අයෙක් වන අතර කලාත්මක දේවලින් ජයග්‍රහණ ලබාගත හැකි අයෙකි. ඔබට ස්ථීර ගතිගුණ පැවතීම නිසා නොවෙනස්ව දිගු ගමනක යෙදීමේ හැකියාව ඇත. යෝග කාරක ග්‍රහයා හා ලග්නාධිපති 9 වැන්නේ පිහිටීම නිසා පෙර සසරේ කළ පිං මහිමයන්ගේ බලයෙන් යහපත් වනු ඇත.

ධනය:- වසරේ මුල් කාලයේදී යම් යම් ධන හානි, ණය වීම් ඇතිවිය හැකි අතර වසරේ මැද භාගය දක්වාම එසේ පැවතීමට හැකිය. වසර අවසාන කාලයේදී යම් සහනයක් ලබා ගත හැකිවේ.

රැකී රක්‍ෂා:- තරමක් වෙහෙස මහන්සි වී කරන රැකියා හිමිවිය හැකි අතර එම රැකියා වලින් වැඩිවශයෙන් ඵල ප්‍රයෝජන හිමි වේ.

අධ්‍යාපනය:- මුල් කාලයේ යම් යම් අධ්‍යාපන බාධා ඇති වුවද අධ්‍යාපන වෙනස් වීම් සිදුවුවද ක්‍රමානුකූලව හොඳ අධ්‍යාපන වරම් ලබාගත හැකිය.

සෞඛ්‍යය තත්ත්වය:- ඇස්වල ආබාධ කකුල්වල ඇඟිලි ආශ්‍රිත තුවාලවීම් දද, කුෂ්ඨ රෝග, පිළිස්සුම් රෝග ඇති විය හැකිය. පපුව ආශ්‍රිත තත්ත්වයන් වසර මැද භාගයේදී ඇතිවීමේ ඉඩ පවතී.

අය – 11 වැය – 05, ශුභ දින – සිකුරාදා / සෙනසුරාදා / බදාදා වේ., ශුභ වර්ණ – සුදු / විවිධ වර්ණ / නිල් වර්ණ වේ.

මිථුන – රැකියාවේ වෙනසක්

ඔබ මානුෂික ගුණාංග වලින් පොහොසත් සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව මෙන්ම අවස්ථානුකූලව නිවැරදි මාර්ගයෙන් ගමන් කරන කතාවේ දක්‍ෂතාව තුළින් ඉදිරියට ගමන් කළ හැකි ලිපි ලේඛන ලිවීමේ ලේඛක හැකියාවෙන් පිරිපුන් අයෙකු නිසා ඒ තුළින් ජයග්‍රහණ ලබාගත හැකිය. සුදුසු අය සමඟ හවුල් ව්‍යාපාර ආදියට එක් වී දියුණුව කරා ළඟාවිය හැකි අය වේ. පමණට වඩා අන් අයගේ ගැටලු පවරා ගැනීම නොකළ යුතු ය.

ධනය:- වසරේ මුල් කාලය ධනයට යහපත් නොවන අතර තැම්පත් ධනය පවා වියදම් විය හැකිය. තැන්පත් ධනය සොරා ගැනීම් හෝ වංචා වලට ගොදුරු විය හැකි නිසා ආයෝජනය කිරීමේදී දෙපාරක් සිතා බලන්න.

රැකී රක්‍ෂා:- රැකියා කටයුතු සාර්ථක වනු ඇත. නමුත්

රැකියාවේ වෙනස්වීම් අපේක්‍ෂා කළ හැකිය.

අධ්‍යාපනය:- දැඩි උත්සාහය කැපකිරීම් මත තත්ත්වය යහපත් කරගත හැකිය.

සෞඛ්‍යය තත්ත්වය:- සෞඛ්‍ය තත්ත්වයට ද එතරම් ශුභදායක නොවුනත් ගමන බිමන මෙන්ම ආහාර පාන ගැනීමේදී හැසිරීම් ද යහපත් කර ගැනීමෙන් සෞඛ්‍ය තත්ත්වය යහපත් කරගත හැකිය.

අය – 02 වැය – 05, ශුභ දින – බදාදා / සිකුරාදා / බ්‍රහස්පතින්දා, ශුභ වර්ණ – කොල /විවිධ වර්ණ සහ කහපාට

කටක – උසස් අධ්‍යාපන වාසනාවක්

ඉතාමත් හොඳ තීක්‍ෂණ බුද්ධියක් හිමි බොහෝ කටයුතු කිරීමේ හැකියාව ඇති සංවිධාන ශක්තියෙන් ඉහළ තමා ලබාගෙන ඇති දැනුම අන් අයට බෙදා දීමට හැකියාව ඇති ඔබට ජීවිතයේ බොහෝ දේ සංවිධානය වීම් තුළින් ලබාගත හැකිය. තම පවුලේ අයට ඉතාමත් භක්තිවන්තව ආදරය කරන මෙම අයට දුක සැප එකසේ විඳීමේ හැකියාව පවතී. අධික අනුකම්පාව නිසාත් බොහෝ දේ වැරදී යෑමට ඉඩ ඇත. කල්පනාකාරීව ජීවිතයට සාර්ථකව මුහුණ දීම ජයග්‍රහණ ලබා ගැනීමට හේතුවනු ඇත.

ධනය:- 2023 වර්ෂය මුල් කාලය ඔබට ධනයට තරමක් යහපත් නැති කාලයක් ලෙස පෙනේ. නමුත් වසරේ මැද භාගයෙන් පසුව යහපත් වේ.

රැකී රක්‍ෂා:- බොහෝ විට වසරේ මුල් කාලය රැකියාවල වෙහෙසක් සිදු නොවුන ද මැද බාගයෙන් පසුව රැකියා ස්ථාන මාරු වීම් මෙන්ම බාධා සහිතව උසස් වීම් ලැබීමට ද හැකියාව ඇත.

අධ්‍යාපනය:- වසරේ මුල් භාගයේදී උසස් අධ්‍යාපන වාසනාව හිමි විය හැකි පිහිටීම් ඇතිවේ.

සෞඛ්‍ය තත්ත්වය:- අර්සස් රෝග තත්ත්වයන් හා ඒ ආශ්‍රිත අසනීප, හිසේ අමාරු මෙන්ම දියවැඩියා රෝග, තෙල් අධිකව ආහාරයට ගැනීමෙන් ඇතිවන රෝගාබාධ ඇතිවිය හැකිය. ප්‍රවේසමෙන් ආහාර පාන ගැනීම ද යහපත් ය.

අය – 11 වැය – 14, ශුභ දින – ඉරිදා / සඳුදා / අඟහරුවාදා, ශුභ වර්ණ – සුදු / ක්‍රීම් වර්ණ යහපත්ය.

සිංහ – තුන්දොස් කිපෙයි

ඉතාමත් හොඳ ආත්ම ශක්තියක් ඇති උත්සාහවන්ත ජයග්‍රහණය කරාම දුක් සැප විඳිමින් ළඟාවන ඔබට ජීවිතය ජය ගැනීමට අපහසු නැත. ඕනෑම කටයුත්තක් භාර ගෙන සාර්ථකව අවසන් කිරීමට හැකියාව මනාව පිහිටා ඇති අතර යහපත් අරමුණකින් අධිෂ්ඨානශීලිව ඉදිරියට ගියහොත් අනිවාර්යයෙන්ම සාර්ථක විය හැකිය. තම අභිමානය අහංකාරකම පාලනය කර ගැනීමත් අන් අයගේ යහපත් අදහස්වලට සවන් දීමත් ඔබට නිවැරදි මග කියා දෙනු ඇත.

ධනය:- වසරේ මුල් කාලයේදී යම් ආදායම් තත්ත්වයන් පෙනෙන්නට ඇත. එම තත්ත්වය වසර පුරාම පාලනය කරගතහොත් මෙම වසර සාර්ථකව ගෙවා දැමිය හැක.

රැකියා තත්ත්වය:- මුල්කාලයේ රැකියාවල ආරවුල් කඩාකප්පල් විම් ඇතිවිය හැකි වුවත් පසුකාලීනව යහපත් වේ.

අධ්‍යාපනය:- අධ්‍යාපන කටයුතු වලට එතරම් ශුභ නැත. කඩාකප්පල්කර ගැනීම් බහුලව පෙනේ. විදෙස් අධ්‍යාපනයට නම් යහපත් වේ.

සෞඛ්‍ය තත්ත්වය:- පපුව ආශ්‍රිතව මෙන්ම ලිංගාශ්‍රිතව හා අත්වල ආබාධ තත්ත්වයන් ඇති විය හැකිය. ශරීර ශක්තිය හීන වීමට මේදය තැන්පත් වීම නිසා ඇතිවන රෝග තත්ත්වයන් වලට ද ඉඩ කඩ ඇත. තුන්දොස් කිපීම සැඟවුණු රෝග තත්ත්වයන් මතුවීමට පු`ඵවන.

අය – 14 වැය – 11, ශුභ දින – ඉරිදා / අඟහරුවාදා / බදාදා, ශුභ වර්ණ – රතු , කොළ වර්ණ වේ.

කන්‍යා – ආදායමේ වර්ධනයක්

යමක් දුටු පමණින් ග්‍රහණය කරගත හැකි අනුන්ගේ අඩුපාඩු දැක තම වැරදි නිවැරදි කරගන්නා ආගම දහමට ලැදි ඔබට 2023 වර්ෂයේ යහපත් වර්ෂයක් ලෙස පෙන්වාදිය හැකිය. ඔබට අනිවාර්යෙන්ම තමා ගැන විශ්වාසයක් ගොඩ නගා ගත යුතුය. එවිට ජයග්‍රහණ ලබා ගැනීමට අපහසු නැත. පරීක්‍ෂාවකින් තොරව උදව් කිරීමට යෑමේදී ප්‍රවේශම් විය යුතු බව පෙනේ. සමාජයේ ගෞරවය ලබා ගැනීමට හැකියාව ඇති නමුත් කලබලයෙන් වැඩ කිරීමට යෑමෙන් ප්‍රවේශම් වන්න.

ධනය:- 2023 වර්ෂය ඔබට තදබල ආර්ථික අපහසුතා ඇති නොවිය හැකි බව පෙනේ. ආදායම් තත්ත්වයේ වර්ධනයක් දැකිය හැකිය.

රැකී රක්‍ෂා:- රැකියාවල නව දියුණුවක් ඇතිවේ. බොහෝ විට වැඩ කරන ජනතාවට උපදෙස් දෙන රැකියා යහපත්ය.

අධ්‍යාපනය:- වසර මුල් කාලයේදි තරඟ විභාග වලින් ජයග්‍රහණ ලබාගත හැකි අතර නව සොයා ගැනීම් තුළින් ජනප්‍රිය විමට ද හැකියාව ඇත.

සෞඛ්‍ය තත්ත්වය:- වාහන අනතුරු, වැටීම්, තුවාලවීම් වැනි දේ ද මේදය අධික ආහාර ගැනීම නිසා ස්ථූලතාවයන් ද මතුවිය හැකිය. කල් පැවති රෝගී තත්ත්වයන් නිවාරණය වීමට ද පු`ඵවන.

අය – 02 වැය – 05, ශුභ දින – බදාදා / සිකුරාදා, ශුභ වර්ණ – කොළ වර්ණය / විචිත්‍ර වර්ණ

තුලා – අධික වියදම්

ඔබගේ ඇති සමබරතාවයන් ඉතාමත් වටිනා අතර යුක්ති ගරුක විම ද යහපත් ය. එසේ වුවත් කුමන කටයුත්තක් කිරීමේදි වුවද ඉතාමත් බුද්ධිමත් වීම තුළින් ජයග්‍රහණ ලබාගත හැකිය. දැඩි ඉවසීම යහපත් ගුණාංගයක් වේ. දක්‍ෂ කතා විලාසය ඔබට ආභරණයකි. පොදු වැඩ වලට යොමු වීම ද යහපත් වුවත් නොසිතු ලෙස අගෞරවයන් ද ඇතිවිය හැකි පිහිටීම් ඇත.

ධනය:- මෙම වසර ආරම්භය ඔබගේ තැන්පත් ධනයට පවා හානි සිදු වන කාලයකි. අධික වියදම් සහ නුවමනා වියදම් වලට යොමු වුවහොත් ණය තුරුස් පවා සිදුවිය හැකිය.

රැකී රක්‍ෂා:- මානසික මට්ටම යහපත් තත්ත්වයක තබා

ගැනීමට කටයුතු නොකළහොත් රැකියා ගැටලු, සේවක ගැටලු පැන නැගිය හැකි ය.

අධ්‍යාපනය:- මෙම වසරේ ඔබට යහපත්ම දේ අධ්‍යාපන කටයුතුවල නිරත වීම වේ. ඒ තුළින් ඔබගේ අනාගතය ඉතාමත් යහපත් කර ගැනීමට මග පාදා ගත හැකිය.

සෞඛ්‍යය:- රෝගාබාධ වලට යොමු විය හැකි කාලවකවානුවකි. නමුත් වසර අවසාන කාලවකවානුව සියලු දෙයින් ම ජයග්‍රහණ මෙන්ම නිරෝගිකම් ද ලැබීමට හැකියාව ඇති වසරකි.

අය – 11 වැය – 05, ශුභ දින – සිකුරාදා / සෙනසුරාදා, ශූභ වර්ණ – විචිත්‍ර වර්ණ / නිල් වර්ණය

වෘශ්චික – වගාවෙන් වාසි

ඔබගේ ඇති විශේෂ ගුණාංගයන් වනුයේ බාධා නොසලකා ඉදිරියට යෑමය. අවස්ථාවන්ට අනුව පසුබෑම ද ඔබට හිමි යහපත් ගුණාංගයක් වන අතර නිවැරදි තැන දුටු විට නැවත නැගිටීම ද දැකිය හැකිය. නිවැරදි ගමනක යහපත් සිතින් ගමන් කරන්නේ නම් ඔබට ජයග්‍රහණය ලබා ගැනීමට කිසිදු අපහසුවක් නොමැත. ඔබට ඉලක්කයන් ඇත. එම නිසා අරමුණු පැහැදිලිව තෝරාගෙන ඉවසීමෙන් ඉදිරියට යා හැකිය.

ධනය:- වසරේ මුල් කාලයේ ඔබට තදබල මුදල් අපහසුතා ඇති නොවිය හැකිය. තැන්පත් ධනය වගා කටයුතු වලට යොමු කිරීමෙන් යම් වාසියක් ලබාගත හැකිය.

රැකී රක්‍ෂා:- රැකියා කටයුතු යහපත් වන අතර නමුත් ස්ථානමාරු හෝ විශ්‍රාම ගැනීමට සිදුවන අවස්ථාද පෙනේ.

අධ්‍යාපනය:- වසර මුල් කාලවකවානුව අධ්‍යාපන කටයුතුවලට අයහපත් නැත.

සෞඛ්‍ය තත්ත්වය:- බොහෝ විට හිසේ අමාරු, ඇස් රෝග තත්ත්වයන්, දියවැඩියා, තෙල් තැම්පත් විම්. මානසික අසහනකාරී තත්ත්වයන් මතුවීමට හැකිය. වසංගත රෝග තත්ත්වයන්, කුෂ්ඨ රෝග තත්ත්වයන් මතුවේ.

අය – 02 වැය – 14, ශුභ දින – අඟහරුවාදා / බ්‍රහස්පතින්දා / සඳුදා, ශුභ වර්ණ – රතු / සුදු සහ කහ වර්ණ

ධනු – රැකියාවෙන් වාසි

යුක්තිගරුකව කටයුතු කරන ඔබට තම ඉලක්ක සපුරා ගැනීමට අපහසුවක් නැත. ආගම දහමට දක්වන ගෞරව භක්තිය සමඟ සාමාකාමි ජීවිතයක් ගෙවීමට හැකියාව ඇති බව පෙනේ. යුක්තිගරුකභාවය යොදවා ගත යුත්තේ ජීවිතයේ ඉදිරියට යෑමට මිස තියෙන දේ අහිමි කර ගැනීමට නොවන බව තරයේ මතක තබා ගත යුතුය. බොහෝ විට ජීවිතයේ අත්දැකීම් අඩු ඔබ විවාහ ජීවිතයේදි වඩාත් ප්‍රවේශම් වීමට වග බලා ගත යුතුය.

ධනය:- මෙම වසර පුරා විශාල වශයෙන් ධන හානි පෙනෙන්නට නැත. එහෙත් යම් යම් කටයුතුවලට වියදම් වැඩිවීම නිසා අත ඉතිරිය අඩුවේ.

රැකියාව:- රැකියා වලින් අයහපත් තත්ත්වයන් පෙනෙන්නට නැත. කරගෙන යන රැකියා තවදුරටත් යහපත් අන්දමින් කරගෙන යා හැකිය.

අධ්‍යාපනය:- අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකිය. රටේ ප්‍රසිද්ධ වීමට තරම් අධ්‍යාපන හිමිකම් ලබා ගැනීමට හැකියාව ඇතත් දැඩිව ඒ වෙනුවෙන් කැප කිරීම් කළ යුතුය.

සෞඛ්‍යය තත්ත්වය:- ලේ සම්බන්ධ රෝග තත්ත්වයන්, උදරාබාධ සෙම් ගති මෙන්ම පපුව ආශ්‍රිතව හට ගන්නා රෝගී තත්ත්වයන් මෙම වසරේදී ඔබට වැඩි වශයෙන් බලපානු ඇත. බඩ ආශ්‍රිතව ශල්‍යකර්ම පවා කිරීමට හැකියාව ඇති නිසා කල්පනාකාරී වීම යහපති.

අය – 14 වැය – 02, ශුභ දින – ඉරිදා / බදාදා / බ්‍රහස්පතින්දා, ශුභ වර්ණ – කහ වර්ණය වේ.

මකර – ණයතුරුස් වැඩි වෙයි

ඔබ ඉතා ක්‍රියාශීලී තම අරමුණට ඉක්මනින් ළඟාවිය හැකි අයෙකු වන අතර ඉතා පහසුවෙන් ජයග්‍රහණ ලබා ගන්නා අයෙකි. තම දැනුම උනන්දුව නිවැරදි ආකාරයට යොදා ගතහොත් ලෞකික ජීවිතය ඉතාමත් යහපත් කරගත හැකිය. නමුත් එම ගමන් මාර්ගයේ දී අන් අයටත් අයහපතක් නොවන ලෙස කටයුතු කිරීම ඉතාමත් යහපත් වේ. ඉඩකඩම් යානවාහනවලට ඇති ආශාව නිසා ඔබට ඒවාද ලබාගැනීමට පෙර පිං ඇති බව පෙනේ.

ධනය:- ආදායම් තත්ත්වය තරමක් දුරට අයහපත් ගති පෙන්වනු ඇත. එසේම ණය තුරුස් වීම් දැකගත හැක.

රැකියාව:- බොහෝ විට රැකියා තත්ත්වයන් යහපත් නැත. එම නිසා රැකියා ගැන කලකිරීම් ඇතිවේ.

අධ්‍යාපන තත්ත්වය:- අධ්‍යාපන තත්ත්වයන්වලට තරමක බාධා පැන නැගුණ ද උත්සාහයෙන් කටයුතු කර ජයග්‍රහණ ලබාගත යුතුවේ.

සෞඛ්‍ය තත්ත්වය:- මෙම ලග්න හිමි ඔබට හෘදය ආශ්‍රිතව අසනීප තත්ත්වයන්, ලේ නහරගත රෝග තත්ත්වයන්, සැඟවුණ රෝග තත්ත්වයන් මතුවන කාලවකාවානුවකි.

අය – 08 වැය – 05, ශුභ දින – සිකුරාදා / සෙනසුරාදා, ශුභ වර්ණ – නිල් / විචිත්‍ර වර්ණ

කුම්භ – අලුත් ධන මාර්ග

අත්හදා බැලීම් හා නිර්මාණශීලීත්වය වඩාත් ශුභව පිහිටා ඇති ඔබට තනිව යමක් හැදෑරීමේ මනා හැකියාවක් පිහිටා තිබීම නිසා ජීවිතය ජය ගැනීමට අපහසු නැත. මොන යම් බාධක කරදර පැමිණියත් ඉවසීමෙන් තෝරා බේරා ගෙන කටයුතු කළ හැකි ඔබ සිදුවිය යුත්ත එලෙසින්ම කිරීම නිසා පියවරෙන් පියවර සුදුසු ස්ථානය කරා ළඟා වේ. අභියෝග ඔබට ගැටලුවක් කර නොගත යුතුය.

ධනය:- මු`ඵ වසර පුරාම යම් ධනයකට හිමිකම් කිව හැකි අතර ධන මාර්ග අලුතෙන් සෑදීමට හැකිය.

රැකී රක්‍ෂා:- රැකියා කටයුතු වලින් තදබල වාසි නොපෙන්වනු ඇත. එහෙත් තම රැකියාව රැකගෙන සිටීමට කල්පනා කළ යුතුය.

අධ්‍යාපනය:- අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙන්නේ දැඩි කැපවීම මතය. එහෙත් ඔබට තනිවම වුවද සාර්ථක විය හැකිය.

සෞඛ්‍යය තත්ත්වය:- බොහෝ විට ස්නායු රෝග තත්ත්වයන්, හිස ආශ්‍රිතව රෝග, ඇස්වල රෝග තත්ත්වයන් මතුවිය හැකිය. වාත වේදනා, දියවැඩියාව මෙන්ම තෙල් සහිත ආහාර ගැනිමෙන් ඇතිවන රෝග බහුලව දැකිය හැකිය. සෙම් රෝග තත්ත්වයන් ද මතුවේ.

අය – 05 වැය – 05, ශුභ දවස් – සිකුරාදා / සෙනසුරාදා, ශුභ වර්ණ – නිල්, විචිත්‍ර වර්ණ

මීන – අධ්‍යාපනයෙන් ජයග්‍රහණ

ඉතාමත් ක්‍රියාශීලි තම කාර්යයන් නොවනත්වා කිරීම නිසා ජයග්‍රහණය ලබා ගත හැකි අය ලෙස පෙනේ. එම නිසාම ජීවිතය ජය ගත හැකිය. නමුත් සමහරු අවස්ථාවල ක්‍රියාශ්‍රීලී වීම පමණක්ම ප්‍රමාණවත් නොවේ. යම් ගමන් මාර්ගයකට පිවිසෙන්නේ නම් ඒ පිළිබඳ දැනුම ලබා ගැනීමත්, කල්පනාකාරීව බුද්ධිමත්ව කටයුතු කිරීමත් යහපත්ය.

ධනය:- කොතරම් අරපිරිමැස්මෙන් ධනය රැකගැනීමට උත්සාහ කළ ද වියදම් අධික වන බවත් පෙනේ. එම නිසා ඉදිරිය ගැන කල්පනා කර සුරක්‍ෂිතව ධනය වියදම් කරන්නට වග බලාගන්න.

රැකී රක්‍ෂා:- රැකියා තත්ත්වයන් වල තදබල වෙනස් වීම් ඇති නොවේ. නව ආදායම් මාර්ග පෑදීමටත් වර්ෂය මැද භාගයෙන් පසුව නොසිතූ ධන මාර්ග හෝ රැකියාවල දියුණුවක් ලැබීමටත් හේතු වේ.

අධ්‍යාපනය:- ඔබට මෙම වසර අධ්‍යාපන කටයුතු තුළින් ජයග්‍රහණ ලබාගත හැකිය. එහෙත් වසර අවසාන කාලයේදි එතරම් ශුභ නොවිය හැකි නිසා වඩාත් උනන්දු වන්න.

සෞඛ්‍ය තත්ත්වය:- බොහෝ විට වාත රෝග තත්ත්වයන් කකුල්වල අසනීප තත්ත්වයන් මතුවේ. දත් අමාරු ඇතිවන රෝග මෙන්ම හා නහරගත රෝග තෙල් සහිත ආහාර වැඩිපුර ගැනීම නිසා ද රෝග මතුවේ.

අය – 14 වැය – 05, ශුභ දින – බ්‍රහස්පතින්දා /
අඟහරුවාදා, ශුභ වර්ණ – කහ, රතු

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී හා කථිකාචාර්ය ආචාර්ය එම්. ඒ. හරිස්චන්‍ද්‍ර කුමාර