hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ඔක්‍තෝබර් 14, ප.ව. 5:00



ගාල්ල රිචඩ් පතිරණ පුස්තකාලයේ පොත්පත් කියවමින් සිටි දැරියක් එහි රැඳී සිටියදී  එහි සේවකයින්  විසින් පුස්තකාලයේ දොරගුළු දමා පිටවයාම සම්බන්ධයෙන් එම අවස්ථාවේ රාජකාරි යෙදී සිටි නිලධාරීන්ට විරුද්ධව විමර්ශනයක් පවත්වා විනයානුකූලව කටයුතු කිරීමට  ක්‍රියා කරන බැව් ගාල්ල මහනගරාධ්පති  ප්‍රියන්ත සහබන්දු මහතා පවසයි.

දොළොස් හැවිරිදි වියේ පසුවන මෙම දැරිය පාසල් නිම වීමෙන් පසු මවත් සමග පස්වරු 02:45 ට පමණ පුස්තකාලයට පැමිණ තිබෙනවා.

දැරිය පුස්තකාලය තුළ පොත්පත් කියවමින් සිටියදී දැරියගේ මව විසින් පිටතට යන බව එහි සේවකයින්ට පවසා ගොස් තිබෙනවා.

මව යළි පස්වරු  4.45ට පමණ පුස්තකාලයට එන විට පුස්තකාලයේ දොරගුළු වසා දමා තිබී ඇති අතර දැරිය පුස්තකාලයේ ඉහළ මහලේ සිට මවට අත වනා තිබෙනවා.

මව විසින් මේ පිළිබඳ අදාල බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු ගාල්ල පොලිසියේ තිබූ පුස්තකාලයේ යතුර ගෙනවිත්  පුස්තකාලයේ දොරවල් විවෘත කොට දැරිය පිටතට ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මව සහ දැරිය ගාල්ල මහ නගර සභාව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බව ගාල්ල නගරාධිපතිවරයා පවසයි.

නියමිත වේලාවට පෙර එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් විසින් පුස්තකාලය වසා දමා ගොස් ඇත්ද යන්න පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන බව ද නගරාධිපතිවරයා පවසයි.

පරීක්ෂණය ප්‍රතිඵල අනුව එම අවස්ථාවේ සේවයේ යෙදී සිටි නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කර දඩුවම් කිරීමට කටයුතු කරන බව ද ගාල්ල මහා නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ගාල්ල – ලලිත් චාමින්ද