hit counter

2026 නොවැම්‍බර් මස 01 වන ඉරිදා

2026 නොවැම්‍බර් 02, පෙ.ව. 12:08



පුංචි තිරයේ චරිතාංග නිළියන් අතර ඉදිරියෙන්ම සිටින නිළියක් විදිහට රෙබෙකා දිල්රුක්ෂිව හඳුන්වා දෙන්න පුළුවන්.

බැද්දේගම ඇතුළුව ඇය දායක වුණු කලා නිර්මාණවල රෙබෙකා එකිනෙකට වෙනස් චරිත රාශියක් නිරූපණය කරනවා. ඉතින් ඇගේ මේ සුවිශේෂී දක්ෂතාව ගැනයි අපි අද කතා කරන්නේ..

ඉතින් මේ දිනවල රෙබෙකාට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා කියලා ආරංචියි…

ඇත්තටම පසුගියදා අවසන් වූ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරපු බැද්දේගම ටෙලි නාට්‍යයේ චරිතයට ප්‍රේක්ෂකයෝ හුඟාක් කැමැතියි. ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලත් අඩුවක් නැහැ.

එකිනෙකට වෙනස් චරිත ලාංකාවේ ප්‍රේක්ෂ⁣කයෝ ඉදිරියේ රඟපෑම අවදානමක් නැද්ද?

ගොඩක් දුරට නිර්මාණවලදි අපි රඟපාන්නෙ සමාජයේ ජීවත්වෙන චරිත හෝ සමාජයේ නැති මනඃකල්පිත චරිත. ඉතින් මේ චරිතවලට අනන්‍ය හැඩයක් ස්වභාවයක් තියනවා. ඉතින් මගේ අනන්‍යතාවයෙන් බැහැරවෙලා වෙනත් කෙනකුගේ චරිතයකින් ප්‍රේක්ෂකයො ඉස්සරහට යනවා කියන්නෙම එතන ලොකු අවදානමක් තමයි. මම නිර්මාණ ඇතුලෙ විවිධ චරිත රඟපාන වෘත්තිය රංගන ශිල්පිනියක්. මේ අවදානම දරන්න බලාපොරොත්තුවෙන් සහ සූදානමින්ම තමයි මම වෘත්තිය රංගන ශිල්පිනියක් වුණේ.

ඕනෑම චරිතයක් සාර්ථකව රඟපාන්න පුළුවන් විදිහට රංගන හැකියාව ගොඩනගාගත්තෙ කොහොමද?

මම රංගනය පිළිබඳව විශ්වවිද්‍යාලයක ඉ⁣ගෙනගත්තා. රඟපාන්නෙ කොහොමද කියලා මම න්‍යායාත්මක සහ ප්‍රායෝගිකව හදරාලා තියනවා. රංගනය ඉගෙනගන්නවත් සමග මම පුද්ගල සමාජ හැසිරීම සම්බන්ධව අධ්‍යයනය කරන්න පුරුදු වුණා. සමාජයේ ජීවත්වෙන පුද්ගලයො හඳුනාගෙන ඔවුන්ගේ මනෝභාවය සහ හැසිරීම වටහා ගැනීම තුළිනුයි මට ගැඹුරු රංග පරාසවලට යන්න පුළුවන්වුන හැකියාව ලැබුණෙ.

ස්ථාවර රංගන ශිල්පිනියක් විදිහට ගොඩනැගෙන්න රෙබෙකා කොච්චර මහන්සි වුණාද?

රංගනය ගැන ඉගෙන ගත්ත පමණින්, රඟපාන්න හැකියාව තිබ්බ පමණින් එකපාර ක්ෂේත්‍රයේ ස්ථාවර තැනක් ගොඩනගා ගැනීමේ හැකියාවක් අපි කාටවත් නැහැ⁣. ක්ෂේත්‍රයේ ස්ථාවර වෙන්න නම් කාලයක් තිස්සෙ කට්ට කාගෙන අල්ලගෙන ඉන්න ඕන. මට මතකයි මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදි නිර්මාණවලින් මට කිසිම ගෙවීමක් කළේ නැහැ⁣. ඒ වුණත් නිර්මාණයකට සම්බන්ධ වෙලා වැඩක් කරන්න ඕන නිසා සල්ලි ලැබෙන්නෙ නැති වුණත් වැඩ කළා. හැබැයි එහෙම අතට රුපියලක්වත් ලැබෙන්නෙ නැතුව මහන්සිවෙලා වැඩ කරපු නිසා මගේ හැකියාවන් පෙන්නන්න ලැබුණා සහ ක්ෂේත්‍රයේ ඉන්න පුද්ගලයො අඳුනගන්න පුළුවන් වුණා. රංගන ක්ෂේත්‍රය තුළ ස්ථාවර පුද්ගලයෙක් වෙන්න නම් අනිවාර්යයෙන් කට්ට කාගෙන අල්ලගෙන ඉන්න පුරුදුවෙන්න ඕන.

රංගනයෙන් මුදලක් ලැබෙන්නෙ නැති කාලෙදි මූල්‍යමය අතින් ආරක්ෂා වුණේ කොහොමද?

රංගන ශිල්පිනියක් විදිහට වෘත්තිය ගමන පටන්ගත්ත මොහොතේ ඉඳලා මගේ සැමියා ඇතුළු පවුලෙ අයගෙන් මට ආර්ථිකමය වශයෙන් ලොකු සහයෝගයක් ලැබුණා. එයාලා හැමෝම කිව්වෙ මගේ හැකියාවෙන් ඉදිරියට යන්න කියලා. මගේ ගමන වෙනුවෙන් අවශ්‍ය සියලුම මූල්‍ය වියදම එයාලා දරන්නම් කියලා මාව බලාගත්තා. මූල්‍ය වියදම් දැරුවට මගේ පවුල ප්‍රකෝටිපති පවුලක් නෙමෙයි. එයාලා මහන්සිවෙලා සල්ලි හොයලයි මං වෙනුවෙන් වියදම් කෙරුවා. මම හිතන්නෙ මගේ සැමියා ඇතුළු පවුලෙ අය නැත්තන් ගොඩක් දුරට අද මම නිළියක් නොවෙන්න ඉඩ තිබුණා.

රෙබෙකා රඟපාන ආන්දෝලනාත්මක චරිත සම්බන්ධයෙන් පවුලෙ අය මොනවද කියන්නෙ?

සැමියා ඇතුළු පවුලෙ අය දන්නවා මම වෘත්තීය රංගන ශිල්පිනියක් කියලා සහ මම කරන චරිත මගේ පෞද්ගලික ජීවිතයට කිසිසේත්ම සම්බන්ධයක් නැහැ⁣ කියලා. ඉතින් රඟපාන චරිත සම්බන්ධයෙන් මට කිසිම බලපෑමක් පවුලෙ අය කරන්නෙ නැහැ⁣. හැම මෙහොතකදිම මගේ පවුලෙ අය මට සහයෝගය දෙනවා.

රඟපාන්න සුදුසු සහ නුසුදුසු නිර්මාණ තෝරාගන්නෙ කොහොමද?

ලංකාවෙ නිර්මාණකරණය තුළ බාල නිර්මාණ සහ ගුණාත්මක නිර්මාණ කියලා කොටස් දෙකක් තියනවා. රංගනය විතරක් වෘත්තිය කරගෙන ඉන්න මම ඇතුළුව ක්ෂේත්‍රයේ ඉන්න අනෙක් නළු නිළියන්ට ලංකාවෙ මේ තියන ආර්ථික උද්ධමනයත් එක්ක හැමදාම මාර හොඳ ගුණාත්මක නිර්මාණවලට විතරක් සම්බන්ධවෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ⁣. ඉතින් මට නිර්මාණයකින් ආරාධනාවක් ලැබුණහම මම ටිකක් කල්පනා කරලා බලනවා මේ වටපිටාව ඇතුළෙ මේ නිර්මාණය බාර ගැනීම සුදුසුද නැද්ද කියලා. ඒ දේවල් ගැන සැලකිලිමත් වෙලා මට නිර්මාණය තුළින් අත්වෙන ප්‍රගතියක් තියනවා නම් මම නිර්මාණය බාරගන්නවා.

රෙබෙකාගේ රංගන හැකියාවෙන් සිනමාවෙ වැඩක් කරන්න අදහසක් නැද්ද?

පුංචි තිරයේ රංග පරාසයට වැඩිය පුළුල් රංග පරාසයකින් මට සිනමාවේ රඟපාන්න පුළුවන් හැකියාවක් තියනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ප්‍රේක්ෂකයො මවිත කරන සිනමා රංගනයකට පහුගිය කාලෙ මම සම්බන්ධ වුණා. ඉදිරියෙදි මගේ ඒ රංගනය රසිකයන්ට සිනමාව හරහා දකින්න පුළුවන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: