hit counter

2026 ඔක්‍තෝබර් මස 28 වන බදාදා

2026 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:10



බොලිවුඩ් නිළි කැට්‍රිනා කයිෆ් සිය පුතුගේ උපතෙන් පසු ශරීරයේ බර වැඩිවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ විවේචනවලට පිළිතුරු ලබාදී තිබේ.

Vogue සඟරාවේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පවසා ඇත්තේ, මවක් වීමෙන් පසු පෙර සිටි ශරීර ස්වභාවයට නැවත පැමිණිය යුත්තේ ඇයිද යන්න තමන්ට ප්‍රශ්නයක් බවයි.

මුම්බායිහි පැවති ගනේෂ් චතුර්ති උත්සවයකදී කැට්‍රිනාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඇයගේ ශරීරයේ බර පිළිබඳව ඇතැම් පිරිස් විවේචන එල්ල කර තිබිණි.

බර වැඩිවීම හේතුවෙන් ඇයගේ සිනමා වෘත්තිය අවසන් වී ඇති බවට ද ඇතැමුන් අදහස් පළ කර තිබූ බව වාර්තා වේ. එම විවේචනවලට ප්‍රතිචාර දක්වමින් කැට්‍රිනා ප්‍රශ්න කර ඇත්තේ, “ආයෙත් යථා තත්ත්වයට එන්න ඕනේ? ඒ මොකටද?” යනුවෙනි. “මගේ හදවතේ ගැඹුරින්ම තිබූ ආශාවක් වෙනුවෙන් මම ඉදිරි පියවරක් තබා තිබෙනවා.

එසේ නම් මම ආපසු යන්න කැමති වෙන්නේ ඇයි?” යනුවෙන් ද ඇය සඳහන් කර තිබේ.

පුතුගේ මුහුණ පළමුවරට දුටු මොහොත ගැනත් කතා කරයි

මවක් වීමේ අත්දැකීම පිළිබඳව අදහස් දක්වමින් කැට්‍රිනා පවසා ඇත්තේ, සිය පුතු විහාන්ගේ මුහුණ පළමුවරට දුටු මොහොත වචනවලින් විස්තර කළ නොහැකි හැඟීමක් වූ බවයි. “මම දරුවා බිහි කළ පළමු දින කිහිපයේදී විහාන්ගේ මුහුණ දැකීමත්, මා සහ විකී වසර හතරක් පුරා මුහුණ දුන් දුෂ්කර ගමනේ ප්‍රතිඵලය මේ බව දැනගැනීමත් වචනවලින් විස්තර කළ නොහැකි හැඟීමක් වුණා” යනුවෙන් ඇය සඳහන් කර තිබේ.

කැට්‍රිනා සහ ඇගේ සැමියා වන විකී කෞෂාල්ගේ පුතු විහාන් නොවැම්බර් 7 වැනිදා සිය පළමු උපන්දිනය සැමරීමට නියමිත බව ද එම වාර්තාවේ සඳහන් වේ. “මගේ ශරීරයට ගැළපෙන වේගයෙන් මම ඉදිරියට යනවා” සිය ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ද අදහස් දැක්වූ කැට්‍රිනා පවසා ඇත්තේ, තම ශරීරයට වඩාත් ශක්තිමත්ව හා ක්‍රියාශීලීව දැනෙන තත්ත්වය පිළිබඳව තමන්ට හොඳ අවබෝධයක් ඇති බවයි. “මගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ගමන සහ මගේ ශරීරයට වඩාත් ශක්තිමත්ව දැනෙන තත්ත්වය ගැන මම හොඳින් දන්නවා.

මම මගේම වේගයෙන් ඒ තත්ත්වයට ළඟා වෙනවා” යනුවෙන් ඇය පවසා තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන විවේචන තම තීරණවලට බලපෑම් කිරීමට ඉඩ නොදෙන බව ද කැට්‍රිනා සඳහන් කර ඇත.

ලන්ඩනයේ පැවති Kay Beauty උත්සවයකදී ද ඇය මේ පිළිබඳව අදහස් දක්වා තිබේ. “හැමෝම සතුටු කිරීමට උත්සාහ කළොත්, තමන් වෙනුවෙන් තීරණ ගැනීමට ඇති හැකියාවට එය විශාල බාධාවක් වෙනවා” යනුවෙන් ඇය පවසා තිබේ.

සමාජ මාධ්‍ය විවේචන තම ජීවිතයට බලපෑම් කිරීමට ඉඩ දුනහොත් ඉදිරියට යාමට පවා නොහැකි වනු ඇති බවත්, කාන්තාවන් තමන්වම දිරිමත් කරගැනීමට ඉගෙනගත යුතු බවත් ඇය අවධාරණය කර ඇත. “ඔබ ඔබේ ලොකුම දිරිගන්වන්නා විය යුතුයි” යනුවෙන් පවසමින් කැට්‍රිනා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සෑම අවස්ථාවකදීම තමන් සිටින තත්ත්වය පිළිගැනීම වැදගත් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: