hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 16, පෙ.ව. 12:01



ඒ වුණේ කුමක්ද කියන්න තවමත් ගෙදර කාටවත් හිතාගන්න බැරි තරම් ඔවුන් කම්පනයට පත්වෙලා.. 

සුවඳ පිරුණු රෝසමලක් වුණ සනුරි මේ තරම් ඉක්මනට කවුරුත් හැරදා යයි කියලා කිසිවෙකුත් අපේක්ෂා නොකළ මොහොතක ඇය සියල්ලන්ගේම හද කම්පා කර‍මින් නික්ම ගොසින්.. 

ඇගේ සුරතලා ඕජෝට මේ වෙන්න යන මහා විපත ගැන තේරුණාද..? වෙනදා දුව පැන ඇවිදින්න ආස කළ සුරතලා සැඟවිලා සිටියේ මේ නිසාමද..? සනුරිගේ මරණයෙන් දින ගණනක පසු මේ  ඇසෙන හද කම්පා කරන කතාව කියවන ඔබටත් සිතෙන්නේ එයමද..?

සනුරි පසුගිය 7 වැනි සිකුරාදා තම නිවෙසේ වූ ත්‍රිරෝද රථය සූදානම් කළේ තමා සුරතලයට ඇති කළ ඕජෝ බල්ලාගේ කකුලට බේත් ගැනීමට යාමටය. ඊට කලින් දින අසල්වැසි යෙහෙළියකගේ විවාහ උත්සවයකට නුවර ගොස් පැමිණ සිටි සනුරිගේ පවුලේ අය හිටියේ විඩාබරවය. ත්‍රිරෝද රථය එළවගෙන යාමට භාර වූයේ සනුරිගේ බාප්පගේ පුතාවූ උදාර කෞෂල්‍යයටය. ත්‍රිරෝද රථය පණගැන්විණි. වෙනදාට ත්‍රිරෝද රථය පණගැන්වූ විට සනුරිගේ සුරතල් බල්ලා කොහේ හිටියත් ත්‍රිරෝද රථයයේ රියැදුරු අසුන ඇති ෆ්ලෝබෝඩ් එකට පැන ඉව ඇල්ලීම සිරිතය. ගමනක් යාමට ත්‍රීවීල් එකෙන් බල්ලා බස්සවා ගන්නේ ද බොහොමත් අමාරුවෙනි. ඒත් අද සුරතල් ඕජෝ ත්‍රිරෝද රථයට කතා කළත් නෑසුනාක් මෙන් සිටී.

ත්‍රිරෝද රථයේ රියැදුරු අසුනින් බැසගත් සනුරිගේ ඥාති මල්ලි ඕජෝ සිටි කූඩුවට ගොස් බල්ලා ගෙනවිත් ත්‍රිරෝද රථයේ පිටුපසින් තැබුවේ බලහත්කාරයෙනි. ඒත් මල්ලි ත්‍රිරෝද රථයේ අසුනේ ඉඳගන්නටත් පෙර සුරතල් බල්ලා නැවතත් කූඩුවට වැදී එහි දැල්කූරු විකන්නට වූයේ වියරුවෙනි. එදා ඕජෝගේ හැසිරීම අමුතුය. ඒ අමුතු හැසිරීම ගැන කෞෂල්‍යට අවබෝධයක් නැත. එනිසාම කෞෂල්‍ය නැවත ඕජෝව ත්‍රිරෝද රථයට ගෙන ආවත් ත්‍රිරෝද රථයට නැගීම ඔජෝ ප්‍රතික්ෂේප කර නැවත කූඩුව දෙසට ගියේ උඩු බුරලමිනි.

“අක්කේ ‘ඕජෝ’ ත්‍රීවීල් එකට නගින්නෑ. පැනල දුවනවා මොකද කරන්නේ” කෞෂල්‍ය අසන්නට විය. මේ වන විට සනුරි තම මල්ලි වූ සමිඳු ඉමල්ක සමඟ ‘ඕජෝ’ ට බේත් ගේන්නට සූදානම් වී හමාරය. සනුරි ඕජෝ සිටි කූඩුව දෙසට ගියත් වෙනදා මෙන් ඕජෝ කූඩුවෙන් එළියට පැමිණ ඉදිරි දෙපා සනුරිගේ ඇඟට තබා කෙළින් සිටගත්තේ නැත. ‘ඕජෝ’ කූඩුවේ වූ කූරු හපමින් අත දමා අල්ලාගත නොහැකි තරම් කොනක ගුළිවී සිටියේය. ඕජෝට එදින අනතුරු සංඥාව කල් තියා ඉවෙන් මෙන් දැනෙමින් තිබුණද මඟ රැක සිටින මරුවා මගහරිමින් කූඩුවට ගුලිවී සිටින ඕජෝගේ අමුතු හැසිරීම පිළිබඳ නිවැසියන්ට නම් වැටහීමක් නොවීය.

“ඕජෝ’ යං පුතේ බේත් ගන්න. රඹුටන් ගහේ වැදිල කැඩිච්ච කකුල හදන්නනේ අපි යන්නේ. ආයි ඔයාට ඉස්සර වගේ දුවන්න පනින්න පුළුවන් හොඳ වුණාම. ඒ හින්ද හොඳ පුතා වගේ කූඩුවෙන් එළියට එන්න.” ඒත් කූඩුවෙන් එළියට ආවේ ‘ඕජෝ’ නොවේ. අන්තිමට සනුරි කළේ තම සුරතල් බල්ලා වූ ‘ඕජෝ’ වඩාගෙන ත්‍රිරෝද රථයට නැඟීමය. සනුරි බල්ලා සමඟ නැග්ගේ බැසීමට නොහැකි ලෙස වසා ඇති දකුණුපස කොනට වන්නටය. ‘ඕජෝ’ කකුල කැඩී සිටියත් ත්‍රිරෝද රථයෙන් පැන අල්ලපු ගෙදර නාමල්ගේ නිවෙසේ ත්‍රිරෝද රථය වෙත ගොස් ඉව අල්ලන්නට විය.

“මෙන්න ‘ඕජෝ’ මෙහෙ ත්‍රීවීල් එක ගාව. මාත් එක්ක යං කියනවද කොහේද? නාමල් උස්හඬින් කිව්වේ තම ත්‍රීවීලයේ පිටුපස හිඳගෙන සිටි සනුරි සහ මල්ලි සමිඳුටය.” ‘ඕජෝව’ අල්ලගෙන පාර අයිනට ගේන්න අපි පාර අයිනට එන්නම්. සනුරි පැවසුවේ අල්ලපු ගෙදර නාමල්ටය.

“ඊයේ නුවර වෙඩින් එකට ගිහින් මල්ලිට නිදිමතත් ඇති. ඕන්නං මගේ ත්‍රීවීල් එකේ යං.” නාමල් පැවසුවේ රියදුරු අසුනේ උදාරටය.

නාමල් ‘ඕජෝව’ ඔසවා සනුරිගේ උකුළෙන් තැබීය. ඕජෝ පැන ගන්නට උත්සාහ කළත් එවර නම් පැනයන්නට බැරි වුණේ සනුරිත් මල්ලිත් දෙන්නම ‘ඕජෝව’ අල්ලගෙන සිටි නිසාය.

පසුගියදා අප සනුරිගේ නිවෙසට ගියේ සනුරිගේ මරණය ගැන දැන ගැනීමටය. අප යනවිටත් මිදුලේ ගහපු හට් එකක් තිබූ අතර ප්ලාස්ටික් පුටු තුන්හාරසියයක් ගොඩගසා තිබුණි. නිවෙසේ ඉස්තෝප්පුවට ගොස් අප ආ කාරණය කියූ විට සනුරිගේ මව ගේ ඇතුළෙන් පැමිණ අප සාලය වෙත කැඳවාගෙන ගියාය.

සාලයට ඇතුළුවන විට පෙනෙන්නට තිබුණේ ජේසුස් වහන්සේට තැබූ පහනය. ඊට පහළින් සනුරිගේ ඡායාරූපය යාබදව තබා එයට ඉටිපන්දමක් දල්වා තිබුණි. අම්මාගේ නම වූයේ මොනිකා ක්‍රිෂාන්තිය. “මට ඉන්නේ දුවල දෙන්නයි, පුතයි. අපේ පුතාටයි, මහත්තයාගේ මල්ලිගේ පුතාටයි දෙන්නටම මේ ඇක්සිඩන්ට් එකෙන් තුවාලයි. තාම කෑගල්ල ඉස්පිරිතාලේ ප්‍රතිකාර ගන්නවා. සනුරිගේ තාත්තා එදාම රට ඉඳලා ලංකාවට ආවා. දැන් පුතාල දෙන්න බලන්න ඉස්පිරිතාලෙට ගියා.” මොනිකා ක්‍රිෂාන්ති කියන පරිදි තම වැඩිමල් දියණිය අධ්‍යාපනය ලබා ඇත්තේ කුරුණෑග ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයෙනි.

“පළමුවැනි සැරේ AL වලින් A2යි C1යි ගත්තා. දෙවැනි සැරේ තමයි A2යි, B1යි අරන් කැම්පස් ගියේ. දුව කොහේ ගියත් තනියෙන් යන්නේ. ඒත් ජයවර්ධනපුර කැම්පස් එකට ඇතුළු කරන්න මාත් ගියා. එදා තමයි කොරෝනාවට රට වැහුවේ. එදාම අපිට ආයෙත් ගෙදර එන්න වුණා.” දුව නුගේගොඩ බෝඩ් වෙලා තමයි කැම්පස් ගියේ. ඔය ‘ඕජෝ’ බල්ලට සනීප නෑ කියලා දුවට කිව්වොත් එදාම ගෙදර ඇවිත් බේත් අරන් දෙනවා. මගේ මහත්තය නාවික හමුදාවේ වැඩ කළේ. ඊට පස්සේ අයින්වෙලා රට ගියා.” සනුරිගේ මව කියන්නේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වීමට තිබෙන්නේ මේ වසරේ ඔක්තෝබර්වල බවය.

“සනුරිවත් තාත්තා හිටපු රුමේනියාවට යවන්න හිටියේ වැඩිදුර අධ්‍යාපනයට.”

අපේ කතාබහට සනුරිගේ ආච්චි වූ මේරි පැසින් එක්වූයේ තම මිනිබිරිය මියගිය පුවත තවමත් අදහාගත නොහැකි ස්වරූපයෙනි.

“ඔය බල්ලව ගෙනාවේ රු. 20,000/කට කුරුණෑගලින්. බල්ලගේ පළමුවැනි උපන්දිනේට බනිස් එකක් ගෙනල්ල ඉටිපන්දමක් ගැහුව. ‘ඕජෝ’ ගේ ඔළුවට තොප්පියකුත් දාල ගෙදර උත්සවයක් ගත්තා. ඕජෝගේ කකුල කැඩුණේ දුවන්න ගිහින් රඹුටන් ගහේ කකුල වැදිලා.”

සනුරිගේ නංගි අපේ කතාවට එක්වූයේ ඉන්පසුවය. “අක්ක ඉස්කෝලෙදී ඩාන්සින් කළා. ඒ ඩාන්සින් ටීචර් ඔක්කොමල එක්කගෙන ගියා තායිලන්තයේ පැවැත්වුණු නැටුම් තරගයකට. රටවල් ගොඩකින් ඒ තරගය නියෝජනය කරලා තිබුණා. අක්ක ඒකෙන් පළමුවැනි තැනට තේරුණා.”

“ඉතින් අපිට අක්ක ලස්සනට නටන පින්තූරයක් දෙන්නකෝ පත්තරේ දාන්න.”

“ඒවා තියෙන්නේ අක්කගේ ෆෝන් එකේ. ඒක ලොක්. පාස්වර්ඩ් එක නැතුව ගන්න බැහැ.”

“අක්කගේ හොඳම යාළුවෝ කවුද?” අක්කගේ හොඳම යාළුවෝ තමයි දිනිති, ගයනි, අයේෂා, කුමාෂා.”

අක්ක ඔයට කලිනුත් බල්ලො ඇතිකරල තියෙනවද?” ඔව්. කලිනුත් හැදුවා. එයාගේ නම බුලී අක්කා එයාටත් හරිම ආදරෙයි. දවසක් බුලී ඇක්සිඩන්ට් එකක් වෙලාද කොහෙද ගෙදර ආවේ අමාරුවෙන්. අක්ක හොඳම වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් අරන් දුන්නා. ඒ බල්ලා මැරුණු දවසේ අක්කා කෑවෙත් නැහැ. ඒ තරං අක්ක බුලී ට ආදරෙයි.”

සනුරිගේ නිවෙසේ ගත කළ කාලයේ අපට දැන ගැනීමට ලැබුණේ ඇය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා අතරතුර කුඩාගම පල්ලියේ ස්වේච්ඡා­‍ෙවන් කතෝලික ආගම උගන්වා ඇති බවය. සනුරි දැඩි ආගමික භක්තියකින් යුතු තරුණියක් බව ගමේ කිහිප දෙනකුම අප සමඟ පැවසීය.

“සීදේවි කෙල්ල ගමේ මඟුලක්ද, මළගෙයක් ද, පල්ලියේ මංගල්‍යයක් ද, අවුරුදු උත්සවයක් ද ඕන තැනක මුල්තැන ගන්නේ සනුරි තමයි. බස් එකේ ඩ්‍රයිවර් වුණත් සනුරි හිටියොත් හෝන් එක ගහල අත වනල යන්නේ. ඒ තරම් කාත් එක්කත් හිතවත්. ගිය අප්‍රේල් පළමුවැනිදා සනුරිගේ ආච්චි මළා. ඒ කියන්නේ තාත්තගේ අම්මා. මුළු ගමම එතැනට ආවේ සනුරි නිසා. එයා ඒ තරම් ගමත් එක්ක සම්බන්ධයි.”

“සනුරි ජොබ් එකක් කළේම නැද්ද?” මම ඇගේ අම්මගෙන් අසා සිටියෙමි. “සනුරිට ඔය එක ජොබ් එකක්වත් අල්ලල ගියේ නැහැ. එයාගේ එකම අදහස තිබුණේ රට ගිහිල්ල ඉගෙන ගන්න.”

සනුරි මුලින්ම කුරුණෑගල ජාත්‍යන්තර විදුහලක ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස සේවය කොට ඇත. ඉන්පසු පන්නිපිටිය නර්සින් හෝම් එකේ රැකියාවක් කොට ඇත. මේ අතර කුරුණෑගල පැවැති අධ්‍යාපන තරගයකදී මුල්තැනට පැමිණි සනුරිට DFCC බැංකුවේ රැකියාවක් ද ලැබී ඇත.

“දැන් ඉතින් ජූනි 7වැනිදා ගෙදරින් ගිය දුවට මොකද වුණේ?” මම සනුරිගේ මවගෙන් නැවත අසා සිටියෙමි.

ඇය පවසන පරිදි ඊට කලින් දින රෑ දොළහත් පහුවනතුරු සනුරි ගෙදර අය සමඟ කතා කරමින් සිට ඇත්තේ කවුරුත් පුදුමයට පත්කරමිනි. ඒ වනවිටත් කෙඳිරිගාමින් සිටි ‘ඕජෝ’ ගේ කකුල ඇය පිරිමදිමින් සිටියාය. “ත්‍රීවීල් එකේ ගිය කට්ටිය බේත් ගන්න ගිහින් තියෙන්නේ කෑගල්ලේ පශු වෛද්‍ය කෙනෙක් ගාවට. ඔහු කියල තියෙනවා කකුල හදන්න ලක්ෂ ගාණක් යනවා. හැදුවත් ආයිත් කැඩෙන්න පුළුවන් ඒ නිසා පේරාදෙණියේ පශු වෛද්‍ය ඒකකයට යන්න කියලා. ”

“ඒ කියන්නේ සනුරි පශු වෛද්‍ය ළඟ ඉඳන් අම්මට කතා කළාද?”

“ඔව්. දුව කිව්වා ඊළඟට පේරාදෙණියේ යනවා කියලා. පේරාදෙණියෙදි කෝල් කළාම කිව්වා ඕජෝට බේත් කරලා ඉවරයි අපි දැන් එන්න පිටත් වුණා කියලා.”

“දුව අන්තිමට කතා කළේ සිකුරාදා කීයටද?” “හරියට දවල් 2.15ට කතා කළා.” මව පැවසුවේ තම දුරකතනයට සනුරිගෙන් අන්තිම ඇමතුම ආ වේලාවන් බලමිනි.

“අම්මේ ඕජෝගෙ කකුල් දෙකම හැදුවා. සතපහක් ගත්තේ නෑ ඉස්පිරිතාලෙන්. කඩෙන් ගත්ත බඩුවලට රු. 8000/=ක් ගියා“ කිව්වා.”

සනුරි ගමන් කළ රථය අනතුරට පත්ව ඇත්තේ උතුවන්කන්ද පහුකර කෑගල්ල දෙසට එනවිටය. මෙම අනතුර දුටු අසල්වැසියකු අපට සිද්ධිය වාර්තා කළේ මෙසේය.

“ත්‍රීවීල් එක වැරදි පැත්තෙන් ඉස්සරහට ආවා. මං හිතන්නේ වෙඩින් එකට කලින් දවසේ ගිහින් එළවං ආපු පුතාට නින්ද ගිහිං. ඉස්සරහින් ආපු ලොරිය ත්‍රීවීල් එකට යන්න ඉඩදෙන්න කැපුවා එතකොටම ත්‍රීවීල් එක එළවපු පුතා වමට හරවපු ගමන් හැපුණා.”

දුවව ඇක්සිඩන්ට් වෙලා කියපු ගමන් මම ඉස්පිරිතාලෙට ගියා.” මට නම් ඒ මූණ බලන්න බෑ. සම්පතුයි මායි බැඳල අවුරුදු 27ක්. මේ දුවට අවුරුදු විසිහයයි. අන්තිමට ඉතුරු වුණේ මරණ සහතිකේ විතරයි.” සනුරිගේ මෑණියන් අපට කිව්වේ කඳුළුබර දෙනෙතිනි.

අප ඊටපසු සොයා බැලුවේ රිය අනතුරෙන් පසු ‘ඕජෝ’ බල්ලාට වූයේ කුමක්ද යන්නයි. රිය අනතුරින් පසු අධිවේගී මාර්ගය ගොඩනංවමින් සිටි කම්කරුවන් වහාම ඕජෝව අසල පිහිටි පශු වෛද්‍යවරයකුට යොමු කොට ප්‍රතිකාර කළත් ටික වේලාවකින් ‘ඕජෝ’ ද මියගොස් ඇත.

අප ඒ නිවෙසින් සමුගන්නා විට එහි වූ බැනරයක ආදරණීය සනූ ඔබට සුබ ගමන් යනුවෙන් මෙවැනි සටහනක් විය.

“ලොවකි ඇත්තේ කදිම

තරු ලෝකයෙනුත් එපිට

ආදර දෙවිඳුන් ඒ තැන

සදලා නිවෙසක් අපට

හමුවේ දිනෙක

ඒ ලස්සන ලොවෙහි අප

හමුවේ දිනෙක

ඔබ හා අප හා එතැන”

(උපුටා ගැනීමකි)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: