hit counter

2026 සැප්‍තැම්‍බර් මස 12 වන සෙනසුරාදා

2026 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:09



ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙතෙක් සිදු කළ විමර්ශනවලදී, එම නඩුවේ ප්‍රධාන සැකකරු වන කපිල චන්ද්‍රසේන මහතා විසින් ලබාගත් අල්ලස් මුදලක් නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වීම ඊට හේතුවයි.

ඒ අනුව, මෝසමක් මඟින් නඩුව කැඳවා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගැනීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳට එරෙහිව මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතිනවා.

අදාළ ගුවන් යානා ගනුදෙනුවේදී රුපියල් ලක්ෂ 100ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගියදා නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ ඔහු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: