hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 08, ප.ව. 2:47



බොරැල්ල පොලිස් වසම තුළ යාචක වෘත්තියේ යෙදෙන පුද්ගලයන් පොලීසිය වෙත කැඳවාගෙන පැමිණ ඔවුන් නාවා පිරිසිදු  කිරීමේ  පිංකමක් ඉකුත් දුරුතු පොහෝදා බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ මුලිකත්වයෙන් සිදු කෙරුණා.

අත්වාරුවලින් මෙන්ම රෝද පුටුවලින් ගොස් තැන තැන රැඳී සිටිමින් යාචක වෘත්තියේ යෙදෙන පුද්ගලයන් හා කිසිදු රෝගාබාධයක් නොමැතිව යාචක වෘත්තියේ යෙදෙන පුද්ගලයන් සියයකට ආසන්න ප්‍රමාණයක් එලෙස පොලිසිය වෙත කැඳවාගෙන පැමිණ තිබුණා.

එම පුද්ගලයන් වසර ගණනාවකින් රැවුල සහ කොණ්ඩය නොකපා තිබීම හේතුවෙන් පොලිසිය වෙත කැඳවා තිබූ කරණවෑමියන් කිහිපදෙනකුද සහභාගි කරගෙන ප්‍රථමයෙන් ඔවුන්ගේ දිගට වැවී තිබූ රැවුල සහ කොණ්ඩය කපා අනතුරුව නාවා පිරිසුදු කිරීමට බොරැල්ල පොලිසියේ සෙසු කාර්ය මණ්ඩලයත් එකාවන්ව කටයුතු කර තිබුණා.

එතනින් නොනැවතුණු ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ පෞද්ගලික මුදල් වැය කරමින් එම යාචක පුද්ගලයන් හැද සිටි ඇඳුම් වෙනුවට අලුත්ම රෙදි පිලි මිලදීගෙන ඇන්ද වීමටද කටයුතු කර තිබෙනවා.

අනතුරුව ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය ඔවුන් සියලුම දෙනාට දහවල් ආහාරය ලබාදීමට කටයුතු කර තිබුණු බව වාර්තා වෙනවා.

මෙහිදී එම පිරිස ඇමතූ ස්ථානාධිපති ජනක ප්‍රියදර්ශන විතානගේ මහතා මෙසේ සඳහන් කළා,

“යාචක වෘත්තියේ යෙදෙන බවට අනාවරණය වි ස්ථානයට කැඳවාගෙන පැමිණි බහුතරයක් පුද්ගලයන් හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින අයයි. ඔබට සමාජයට බරක් නොවී කරදරයක් නොවී   ජීවිකාව කර ගැනීමට අවස්ථා ඕන තරම් තිබෙනවා. නමුත් ඔබ යාචක වෘත්තිය වැනි පහසුම රැකියාව තෝරා තෝරා ගෙන තිබීමෙන් ජනතාවගෙන් ලැබෙන පැමිණිලි වලට අදාලව ඇතැම් විට අපට නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවෙනවා. එවැනි අවස්ථාවල ඔබත් වගේම අපත් අසරණ වෙනවා. එනිසා මා ඔබලාගෙන් කාරුණිකව  ඉල්ලා සිටිනවා පහසුම වෘත්තිය වන යාචක වෘත්තිය මතම යැපී නොසිට තමන්ට ගැලපෙන රැකියාවක් සොයා ගෙන සමාජයට බරක් සහ කරදරයක් නොවී ජීවිතය ගෙන යන්න උත්සහ කරන්න අදිටන් කර ගන්න කියලා.”