hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 13, පෙ.ව. 10:29



ඉහළ යන ලොකු ළූණු මිල පාලනය කිරීම සදහා පිටකොටුව තොග වෙළෙදුන් සමග ඊයේ දින (12) වෙළෙඳ අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී මේ ගැටලුවට ක්ෂණික විසදුමක් ලෙස රෝස ළූණු (Rose Onion) නැමති මධ්‍යම ප්‍රමාණයේ ළූණු ප්‍රභේදය ආනයනය සදහා ඇති බාධා ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, මෙම නව ළූණු ප්‍රභේදය ඉදිරියේදී අඩු මිලකට පාරිභෝගිකයාට ලබා ගැනීමට හැකිවනු ඇති.

තවද එළඹෙන රාමසාන් උත්සවය හා සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ජනතාවට සහන මිලට කිරිපිටි ලබා ගැනීම සදහා කිරිපිටි මිල ගණන් පහත දැමීමට ආනයනකරුවන් සමග ඊයේ දින (12) සාකච්ඡාවක් සිදු කරන ලදී.

ඒ අනුව කිරිපිටි මිල අඩු කිරීමට ඔවුන්ගේ අවධානය යොමු කරන බවට ද එකග විය. මෙම සාකච්ඡාවන් සදහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන්, පිටකොටුව තොග වෙළෙදුන් හා කිරිපිටි ආනයනකරුවන් ඇතුළු පිරිසක් සහභාගී විය.

මෙරටට ගෙන ඒමට යන මධ්‍යම ප්‍රමාණයේ ළුෑණු සම්බන්ධයෙන් ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතාද සමාජ මාධ්‍ය හරහා සටහනක් එක්කර තිබුණා.

උපුටා ගැනීම:

“මා දවස් දෙකකට කලින් පෙන්වා දුන් බී ලූනු වැඩි විම වෙලෙද අමාත්‍යාංශයට පෙනුනේ ඊයේ සතුටුයි ,හැබැයි ඉන්දීය හුනු බිජු බිත්තර වගේ රෝස ලූනු හුනු බිජු ලූනු ගෙන්වන්න හදන්නේ ,එම ලූනු kg1ක් වරායෙන් ගොඩබාද්දි මිල කීයද සාක්ෂි එක්ක රටට කිව යුතුය ,විපක්ෂයේ මහජන නියෝජිතයන් ප්‍රශ්න කල යුතුය ගෞරවනීය මාධ්‍ය මේ පිලිබද සොයා බැලිය යුතුය ,ඊයේ බී ලූනු ආනයනය කරුවන් අපේ රටේ මාධ්‍ය ඉදිරියේ චන්ඩි පාට් දැම්මේ වෙලෙද ඇමැති දුන් හයිය නිසාද?

කොහොමද ආනයනය කරුවන් මාධ්‍ය වේදින්ට දීපු උත්තර ,කොන්දක් නැති වෙලෙද අමාත්‍යාංශයේ බහිරවයන් මල පෙරේතයන් අරක් ගෙන සිටිද්දි ආනයනය කරුවන් එසේ හැසිරීම හිතා ගන්න පුලුවන් ,ඇමැති ට තිබුනේ ආනයනය කරුවන් ඇමැති ගේ සාකච්ඡා මාධ්‍ය යට විවෘත කරන්න ,සියලු ඩීල් කතා කරන් මාධ්‍ය වේදින් ට මාධ්‍ය ආයතන වලට තග දමමින් ආනයනය කරුවන් විසිර ගියහ,

අසීමිත මිල ඉහළ දැමීම පිලිබද ඇමැති ඇතුළු වෙලෙද අමාත්‍යාංශය මීක් නැති අතර සියල්ල කොමිස් මත තින්දු වන බැවින් අහිංසක පාරිභෝගිකයන්ට සොරි ඩොට් කොම්,

අසේල සම්පත්

උපුටා ගැනීම අවසන්:

මේ අතර, වෙළෙඳ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා ඉදිරි අලුත් අවුරුදු සමයේදී දැඩි ලෙස ලොකු ලූනු හිඟයක් මතුවීමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

පකිස්තානය විසින් ලොකු ලූනු අපනයනය නතර කිරීම හේතුවෙන් මෙරට ලොකු ලූනු මිල ගණන් ඊයේ (12) දිනයේදී තවත් ඉහළ ගොස් තිබුණා.

ඒ අනුව, දඹුල්ල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසක ලොකු ළුෑණු කිලෝවක තොග මිල ඊයේ දිනයේදී රුපියල් 580 ත් 630ත් අතර මිලකට අලෙවි කෙරුණු අතර, ලොකු ළුෑණු කිලෝවක සිල්ලර මිල රුපියල් 700ක් දක්වා වැඩිවී තිබුණා.

ලොකු ළුෑණු හිගයට පිළියමක් ලෙස රජය මැදිහත් වී ඉන්දියාවෙන් ලොකු ළුෑණු ආනයනය කිරීමට කටයුතු කරන ලෙසට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දුගෙන් ඊයේ ඉල්ලීමක් කළ බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය.

ලොකු ළුෑණු හිඟය සඳහා වහා පියවර නොගතහොත් ඉදිරි සතියේදී කිලෝවක මිල රුපියල් 1000 ඉක්මවා යනු ඇතැයි ද වෙළෙන්දෝ පවසයි.

පාකිස්ථානයෙන් ලොකු ළුෑණු ආනයනය කරනු ලබන්නේ ශීතාගාරවල බවත්, එම ලොකු ළුෑණු තොග ශීතාගාරවලින් එළියට ගැනීමෙන් පසු තබා ගැනීමට හැකිවන්නේ සති දෙකක හෝ තුනක කාලයක් පමණක් බවත්, ඉන්දියාවෙන් ලොකු ළුෑණු ආනයනය කළහොත්, ඒවායෙහි පවතින වියළි තත්ත්වය නිසා එම ළුෑණු මාස තුනක පමණ කාලයක් තබා ගැනීමට හැකි බවත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

පාකිස්ථානයෙන් ආනයනය කරන ලද ලොකු ළුෑණු ශීතාගාරවල තබා ගැනීමට සිදුවීම නිසා කිලෝවකට රුපියල් 40ක අමතර වැය බරක් දැරීමට සිදුවී ඇතැයි ද, මේ නිසා එම ලොකු ළුෑණු මිල ගණන් ඉහළ යන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.

පාකිස්ථානයෙන් ලොකු ළුෑණු තොග ගෙන්වා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් රුපියල් මිලියන 700ක පමණ මුදලක් වැයකර ඇතත්, ලොකු ළුෑණු අපනයනය එරට විසින් නතර කිරීම නිසා එරටින් ලොකු ළුෑණු තොග නැව්වලට පටවා ඇත්තේ ඉල්ලුමෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි පැවසෙන්නේ.

කෙසේ නමුත්, රටේ උද්ගතව තිබෙන ලොකු ළුෑණු හිඟයට විසඳුම් සෙවීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ වෙළෙඳ අමාත්‍යාංශය සාකච්ඡා පවත්වා ඇතත් ලොකු ළුෑණු තොග මෙරටට ගෙන්වා ගැනීම සඳහා නිසි එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇතැයිද අනාවරණය වනවා.

පකිස්ථානයෙන් ලොකු ළුෑණු තොග ලබා නොදීම නිසා පෝලන්තයෙන් ලොකු ළුෑණු ආනයනය කිරීමට සැලසුම් කර ඇතත්, පෝලන්තයේ සිට මෙරටට ලොකු ළුෑණු ආනයනය කිරීමට මාසයකට ආසන්න කාලයක් ගතවන බවත්, එම තොග අලුත් අවුරුදු සමයේදී ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇතැයිද අනාවරණය වනවා.

ඉන්දියාව ලොකු ළුෑණු අපනයනය නතර කර ඇතත් තමන්ට ලොකු ළුෑණු තොග ලබාදෙන ලෙස බංග්ලාදේශය ඉන්දියානු රජයෙන් ඉල්ලීමක් කර ඇතත් ලංකා රජය තවමත් එම ඉල්ලීම කර නැතැයිද පැවසේ.

මේ අතර රජය විසින් අලුත් අවුරුදු සමයේදී ආහාර වර්ග පහක මිල අඩු කිරීමට සැලසුම් කර ඇති අතර මෙම ආහාර වර්ග අතර ලොකු ළුෑණු ද වීම විශේෂත්වයක්.

ලොකු ළුෑණු ආනයනයේදී කිලෝවකට මේ වනවිට රුපියල් 80 ක බදු මුදලක් අය කෙරෙන අතර, ඉදිරි දිනවලදී ලොකු ළුෑණු සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පමණක් පැනවීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, ලොකු ළුෑණු සඳහා පනවා තිබෙන අනෙකුත් බදු අහෝසි වන අතර ලොකු ළුෑණු කිලෝවකට අය කෙරෙන ආනයනික බද්ද රුපියල් 70 කින් පමණ අඩුවේ.

කෙසේ වෙතත් ලොකු ළුෑණු හිගයට විසදුමක් ලෙස දේශීය වශයෙන් නිෂ්පාදනය වැඩි කරමින් හෝ වෙනත් රටවලින් ආනයනය කිරීම පිළිබඳව කල් තියා නිසි සැලසුමක් ක්‍රියාත්මක නොකර මාධ්‍යවේදීන් මේ ගැන විමසූ විට, “පුළුවන් නම් මාධ්‍යයට ළුෑණු ගෙන්නල පෙන්නන” යැයි වහසිබස් දොඩවන ඉහළ නිලධාරීන් මේ රටට කුමට ද?

මෙවන් ප්‍රශ්ණයක් ඇතිවීමට පෙර කල් තියා ඕනෑතරම් විසඳුම් තිබෙද්දීත් ප්‍රශ්ණය උග්‍රවූ විට විසඳුම් සෙවීමට යාම අතීසාරයට අමුඩ ගැසීමක් වැනිය.

මේනිසා එළඹෙන උත්සව සමයට පෙර කඩිනමින් මෙම ළුෑණු ප්‍රශ්නයට පැලැස්තර විසඳුම් නොගෙන, යහපත් විසඳුමක් ලබා දෙන්නට කටයුතු කරන්නේ නම් එය පාරිභෝගික ජනතාවට ඉමහත් අස්වැසිල්ලක් වනු නොවනුමානය.

එවැනි යහපත් විසදුමක් ඉක්මනින්ම ලබා දෙන තෙක් ගගන ප්‍රවෘත්ති අංශයේ අපද මේ ගැන අවධානයෙන් සිටින්නෙමු.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: