hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 31, ප.ව. 2:53



නිදහස් ශ්‍රී ලංකාවේ අභියෝගාත්මක ම අයවැය ලබන නොවැම්බර් මස 14 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය ආචාර්ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට ආර්ථික ස්වෛරීත්වය ආරක්ෂා කර ගනිමින් ජනතාව ජීවිත කරවීමේ අභියෝගයට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මෙවර අයවැයේ දී මුහුණ දෙන බවයි.

කෑගල්ලේ අද (31) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

“2023 වසර සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 7885ක් ලෙස ඇස්තමේන්තු ගත කර තියෙනවා. එය 2022 වසර සඳහා ඇස්තමේන්තු ගත වියදම වුණ රුපියල් බිලියන 6100ක වඩා බිලියන 1785ක වැඩිවීමක්. එහෙමත් නැත්නම් 29.2%ක වැඩි වීමක්. සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 432ක්, අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 504ක්, ආරක්ෂක වියදම ලෙස රුපියල් බිලියන 367ක් ලෙස ඇස්තමේන්තු ගත කරල තියෙද්දි වැඩිය වැය ශීර්ෂය වන රුපියල් බිලියන 572 සමාජ ආරක්ෂණය වෙනුවෙන් වෙන් කරල තියෙනවා. ඒ පවුල් ලක්ෂ 68න් ලක්ෂ 40ක් හෙවත් 69%ක් ජීවත් වීම සඳහා රජයෙන් ආධාර ඉල්ලා සිටින තත්ත්වයක් තුළ තමයි මේ සියල්ල සිදු වෙන්නේ” යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

වර්තමානයේ පවතින දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 8.5%ක් රටේ ආදායම 13% දක්වා වර්ධනය කර ගැනීම මෙවර අයවැයේ අපේක්ෂාව වන අතර ඒ සඳහා රාජ්‍ය ආදායම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 875 සිට 900 දක්වා ඉහළ නංවා ගත යුතු ය. එය රාජ්‍ය ආදායමේ 65%ක වර්ධනයක් වන අතර ඉන් 90% බදු ආදායම ලෙස ලබා ගැනීම අපේක්ෂාවයි.

රටේ බදු ආදායම ඉහළ නංවා ගැනීම සඳහා ඉදිරිපත් කළ පළමු කෙටුම්පතට එරෙහිව මේ විට නඩු අටක් පවරා ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ අසීරු අවස්ථාවේ විපක්ෂය ද සාම්ප්‍රදායික ලෙස කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව කියා සිටියා.

දැනට ශ්‍රී ලංකාවේ පවතින – 8%ක ආර්ථික වර්ධනය ඉදිරියේ වසරේ දී -3% පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බව කියා සිටි අමාත්‍ය සියඹලාපිටිය මහතා සඳහන් කළේ මේ සියල්ල සිදු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා තීරණාත්මක අවස්ථාව පවතින තත්ත්වයක් තුළ බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අසීරුතම අභියෝගයට මුහුණ දී සිටින බව කියා සිටි අමාත්‍යවරයා ඒ සඳහා සියලු ජනතාවගේ කැපවීම සහ අවබෝධය අපේක්ෂා කරන බව ද අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: