hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 01, ප.ව. 5:06



ශ්‍රී ලාංකීය සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන HNB General Insurance (HNB ජෙනරල් ඉන්ෂුරන්ස්) සමාගම පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ සම්මුතිය 17 (International Financial Reporting Standard  – IFRS 17) ට අනුගතව සිය මූල්‍ය මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධයෙන් ඉතා වැදගත් පියවරක් ඉදිරියට තැබූ අතර HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගම ඒ සඳහා කීර්තිමත් WTW ආයතනයේ උපදේශකත්වය යටතේ WTW හි ResQ Financial Reporter (FR) පද්ධතිය යොදා ගැනීමට කටයුතු යොදා ඇත. HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගම WTW ආයතනය සමඟ සහයෝගීතාවයෙන් ResQFR පද්ධතිය යොදා ගන්නා ශ්‍රී ලංකාවේ පළමු දේශීය රක්ෂණ සමාගම වීම විශේෂත්වයකි.

ResQFR යනු IFRS17 මූල්‍ය ප්‍රකාශන උත්පාදනය සහ අදාළ තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඉතා කාර්යක්ෂම සහ නම්‍යශීලී රාමුවක් වශයෙන් ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් පද්ධතියක් වන අතර සම්පූර්ණ වාර්තාකරණ ක්‍රියාවලියක නිරත වන රක්ෂණ සමාගම්වල කාලය සහ ශ්‍රමය සැළකිය යුතු මට්ටමකින් අවම කිරීම IFRS17 හි විශේෂත්වයයි.  සියලු ශ්‍රී ලාංකික රක්ෂණ සමාගම්වලට වසර 2026 වන විට IFRS17 සම්මුතියට අනුගත වීම අනිවාර්ය වන අතර මේ හරහා සියලු රක්ෂණකරුවන්ට රක්ෂණ වගකීම් තක්සේරු කිරීම සම්බන්ධයෙන් සාධාරණ වටිනාකම් කේන්ද්‍ර කර ගත් ප්‍රවේශයක් ඇති කරගැනීමට හැකියාව ලැබේ. එහි ප්‍රථිඵලයක් වශයෙන් මූල්‍ය වාර්තාකරණයේ විනිවිදභාවය සහ සන්සන්දනාත්මක හැකියාව වර්ධනය වේ. ResQFR පද්ධතිය යොදා ගනිමින් ඉතා ඉක්මනින් IFRS17 සම්මුතියට අනුගත වීම සඳහා ක්‍රියා කිරීම HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගම ජාත්‍යන්තරව යහ පිළිවෙත් අනුගමනය කරමින් වගකීම් සහගතව ව්‍යාපාර මෙහෙයුම් සිදු කිරීමට දක්වන කැපවීම පෙන්වා දෙන අවස්ථාවක් වශයෙන් හැඳින්විය හැකිය.

“ශ්‍රී ලාංකික සාමාන්‍ය රක්ෂණ සමාගම් අතරින් ResQFR පද්ධතිය ස්ථාපනය කිරීමට පළමුවෙන්ම කටයුතු කළ දේශීය රක්ෂණ සමාගම වීම IFRS17 සම්මුතියට අනුගතව නිවැරදි සහ විවෘත මූල්‍ය වාර්තාකරණයක් පවත්වා ගෙන යාම වෙනුවෙන් අපි දක්වන කැපවීමට උදාහරණයක් වෙනවා. රක්ෂණ ක්ෂේත්‍රයේ නියාමන යාන්ත්‍රණය කාලයත් සමඟ දියුණු වෙමින් ඉදිරියට යන අතර ඊට අනුකූලව අපේ විනිවිද භාවය පවත්වාගෙන අපේ ක්‍රමෝපායික අරමුණු සාක්ෂාත් කරගැනීමට ResQFR හරහා විශාල පිටුබලයක් ලැබෙනු ඇති.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා පැවසීය.

IFRS17 සම්මුතිය මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් නව ප්‍රමිතීන් හඳුන්වා දෙමින් රක්ෂණ ක්ෂේත්‍රය තුළ දැවැන්ත වෙනසකට මුල පිරූ සම්මුතියක් වශයෙන් හැඳින්විය හැකිය. ResQFR පද්ධතිය ස්ථාපනය කිරීම හරහා HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගමට නවීන සහ වඩා කාර්යක්ෂම මූල්‍ය වාර්තාකරණයට අමතරව වැඩිදියුණු වුණු දත්ත කළමනාකරණය සහ විශ්ලේෂණ හැකියාව, වඩාත් තීව්‍ර වූ විනිවිද බව සහ මූල්‍ය වාර්තාකරණයේ සුපැහැදිලි බව මෙන්ම වෙළඳපොළ තුළ සුවිශේෂී තරඟකාරී වාසියක් ලබා ගැනීම ඇතුළු වාසි රැසක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.  

HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගමේ ප්‍රධාන ජීවගණක නිලධාරී (Chief Actuarial Officer) නලින් සුබසිංහ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ResQFR පද්ධතිය ස්ථාපනය කිරීම HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගමේ ඉදිරි ගමන සම්බන්ධයෙන් තැබූ දැවැන්ත පියවරක් වශයෙන් හැඳින්විය හැකියි. මේ සම්බන්ධයෙන් අපි ඉක්මනින් සහ ක්‍රියාකාරීව කටයුතු කිරීම තුළින් IFRS17 සම්මුතියට අනුගත වීම සඳහා අපේ ඇති කැපවීම පෙන්වා දෙන අතරම ResQFR නිසා අපට අලුත් නියාමන යාන්ත්‍රණයේ සංකීර්ණ අවශ්‍යතාවයන් සාර්ථකව කළමනාකරණය කරමින් අපේ මෙහෙයුම්වල විනිවිද බව සහ කාර්යක්ෂමතාවය උපරිම මට්ටමක පවත්වා ගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා.”

“ResQFR හි විශේෂත්වය වන්නේ ගණනය කිරීම සහ දත්ත කළමනාකරණය සම්බන්ධයෙන් එය සතු හැකියාව හරහා IFRS17 සම්මුතියේ සංකීර්ණ අවශ්‍යතාවයන් සාර්ථකව කළමනාකරණය කෙරෙන නිසා රක්ෂණ සමාගම්වලට සිය මූලික ව්‍යාපාර කටයුතුවලට කරදරයකින් තොරව සම්පූර්ණ අවධානයම යොමු කිරීමට ලැබෙන හැකියාවයි. HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගම IFRS17 සම්මුතියට අනුගත වීමේ ක්‍රියාවලිය සඳහා WTW ආයතනය තෝරා ගැනීම අපට විශාල සතුටක්. අපේ විශේෂඥ සහය සමඟ ඉතා ඉක්මනින් සහ සාර්ථකව HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගමට ඔවුන්ගේ මූල්‍ය වාර්තාකරණ අරමුණ සඵල කර ගනිමින් ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ ඉහළ ප්‍රමිතීන් පවත්වා ගෙන යාමට සහය වීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයි HNB ජෙනරල් ඉන්ෂුරන්ස් ආයතනය සමඟ WTW සමාගම ඇති කරගත් සබඳතාවය පිළිබඳව අදහස් දක්වමින් WTW සමාගමේ රක්ෂණ උපදේශන සහ තාක්ෂණ ප්‍රධානී (ඉන්දියාව සහ ශ්‍රී ලංකාව) විවේක් ජලන් මහතා පැවසීය.

HNB General Insurance පිළිබඳව

HNB General Insurance (HNB ජෙනරල් ඉන්ෂුරන්ස්) සමාගම තනි පුද්ගලයින් සහ සමාගම් සඳහා පුළුල් පරාසයක මෝටර් රථ සහ මෝටර් රථ නොවන රක්ෂණ සේවාවන් සහ ටකාෆුල් සේවාවන් සපයන ශ්‍රී ලංකාවේ ඉදිරි පෙළ රක්ෂණ සමාගමකි. HNB සමූහයේ සාමාජිකයෙක් සහ HNB Assurance PLC සමාගමේ අනුබද්ධිත සමාගමක් වන HNB General Insurance (HNB ජෙනරල් ඉන්ෂුරන්ස්) සමාගම දිවයින පුරා විසිරුණු ශාඛා ජාලයක් හරහා විශාල පාරිභෝගිකයින් සංඛ්‍යාවකට සිය සේවය සපයයි. ෆිච් ලංකා රේටින්ග් සමාගම විසින් රක්ෂක මූල්‍ය ශක්තිය සඳහා ලබා දෙන ‘A- (lka)’ ශ්‍රේණිගත කිරීමක් හිමි HNB General Insurance (HNB ජෙනරල් ඉන්ෂුරන්ස්) සමාගම නව්‍යකරණය සහ උසස් සේවය තුළින් සිය පාර්ශ්වකරුවන් හට උපරිම වටිනාකම ලබා දීමට කැප වී සිටින සමාගමකි.  

WTW සමාගම පිළිබඳව

WTW හි රක්ෂණ උපදේශන සහ තාක්ෂණ ව්‍යාපාර අංශය ලොව පුරා රටවල් 35 ක 1600 කට අධික සහකරුවන් සංඛ්‍යාවක් සමඟ ක්‍රියාත්මක, ජාත්‍යන්තර රක්ෂණ ක්ෂේත්‍රය තුළ උපදේශනය, විසඳුම් සහ මෘදුකාංග සම්බන්ධයෙන් ලොව කීර්තිමත්ම සහ ප්‍රමුඛතම තාක්ෂණ සමාගමකි. WTW සමාගමේ සහය නිසා ලොව පුරා රක්ෂණ සමාගම්වලට අවදානම් සහ ප්‍රාග්ධන කළමනාකරණය, ව්‍යාපාර සාර්ථකත්වය වර්ධනය, තරඟකාරී වාසි නිර්මාණය කරගැනීම ආදී ප්‍රතිලාභ රැසක් හිමි වන අතර මූල්‍ය සහ නියාමන වාර්තාකරණය, ව්‍යාපාර අවදානම් සහ ප්‍රාග්ධන කළමනාකරණය, අත්පත් කරගැනීම් සහ ඒකාබද්ධ කිරීම්, ආයතනික ආකෘතිගත කිරීම, නිෂ්පාදන මිලකරණය, ව්‍යාපාර කළමනාකරණය සහ ක්‍රමෝපාය සැකසීම WTW විසින් සපයනු ලබන සේවාවන් අතර ප්‍රමුඛය.